සියල්ලම හේතූන් හා ඵලයන්ය
එබැවින් එයට හේතු දත යුතු ය.
වීර්‍ය්‍ය ඇතිවීමේ හේතු එකොළොස
“එකාදස ධම්මා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති, අපායභය පච්චචෙක්ඛණතා, ආනිසංස දස්සාවිතා, ගමනවිථි පච්චචෙක්ඛණතා, පිණ්ඩපාතාපචායනතා, දායජ්ජමහත්ත පච්ච-චෙක්ඛණතා සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා, ජාති මහත්ත පච්චචෙක්ඛණතා, සබ්‍රහ්මචාරිමහත්ත පච්චචෙක්ඛණතා, කුසීතපුග්ගල පරිවජ්ජනතා, ආරද්ධවිරිය පුග්ගල සෙවනතා, තදධි මුත්තතාති.”
මෙයින් විරිය සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දැක් වේ. විරිය සම්බොජ්ඣංගය යනු ද වීර්‍ය්‍යය ම ය. මෙය දැක්වෙන්නේ පැවිද්දන්ගේ වශයෙනි.
නමුත් නිවන් මඟ යන ගිහි පිරිසටත් ගලපා ගත හැක සහ යුතුය.
- අපාය භය සිහි කරන බව ය.
- වීර්‍ය්‍යයෙහි අනුසස් දක්නා බව ය.
- බුද්ධාදි උත්තමයන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන බව ය.
- අනුන්ගෙන් ලබන භෝජනය ගැන සලකන බව ය.
- තමා ගේ උරුමයේ මහත් බව මෙනෙහි කරන බව ය.
- තමා ගේ ශාස්තෘවරයා ගේ මහත් බව මෙනෙහි කරන බව ය.
- ජාතියේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.
- සබ්‍රහ්මචාරීන් ගේ මහත්බව ප්‍රත්‍යවේක්ෂා කරන බව ය.
- අලස පුඟුලන් බැහැර කරන බව ය.
- පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇතියන් සේවනය කරන බවය.
- වීර්‍ය්‍යය ඇති කර ගැනීමට නැමුණු සිත් ඇති බව ය.
යන මේ කරුණු එකොළොස විරිය සම්බොජ්ඣංග හේතූන් සැටියට අටුවාවල දක්වා තිබේ. අප විසින් සම්පාදිත “බෝධි පාක්ෂික ධර්ම විස්තරයේ” මේවා විස්තර කර ඇත.
කුසීත වස්තු අට
“අට්ඨිමානි භික්ඛවෙ, කුසීත වත්ථූනි, කතමානි අට්ඨ? ඉධ භික්ඛවෙ භික්ඛුනා කම්මං කාතබ්බං හොති”
අංගුත්තර නිකාය අට්ඨක නිපාතය
යනාදීන් අංගුත්තර නිකාය අට්ඨක නිපාතයෙහි කුසීත වස්තු අට දේශිත ය. එද භික්ෂූන් ගේ වශයෙන් දේශනය කරන ලද්දකි. ඒ මෙසේ ය:
1) වැඩක් කරන්නට තිබෙන කල්හි මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ කිරීමේ දී මට වෙහෙසෙන්නට සිදු වන්නේ ය. වෙහෙසෙන්නට ඇති නිසා දැන් නිදන්නට ඕනෑ ය යි නො පැමිණියා වූ මාර්ග ඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි නො යෙදී නිදා ගැනීම පළමුවන කුසීත වස්තුව ය.
2) යම් කිසි වැඩක් කොට වෙහෙසුණු පසු මම දැන් වෙහෙසී සිටිමියි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙන් භාවනාවෙහි නො යෙදී නිදා ගැනීම දෙවන කුසීත වස්තුව ය.
3) ගමනක් යන්නට ඇති කල්හි ගමනක් යන්නට තිබේයයි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍යගයෙන් භාවනාවෙහි නො යෙදී නිදා ගැනීම තුන්වන කුසීත වස්තුව ය.
4) ගමනක් ගොස් ආපසු අවුත් දැන් මම වෙහෙසී සිටිමි යි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යය නො කොට නිදා ගැනීම සතරවන කුසීත වස්තුව ය.
5) වැළඳීමට සෑහෙන පමණ ආහාරයක් නොලත් කල්හි අද මම සෑහෙන පමණට ආහාර නො ලදමි. අද මගේ කයට ශක්තිය නැතය යි නො ලැබූ මාර්‍ගඵලාදියට පැමිණීමට වෙර නො වඩා නිදා ගැනීම පස්වන කුසීත වස්තුව ය.
6) සෑහෙන පමණට ආහාර ගත් පසු අහර වැළඳූ මේ වේලාවෙහි මාගේ කය බර ය. අකර්මණ්‍ය යි නොපැමිණි මාර්‍ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර නො වඩා නිදා ගැනීම සවන කුසීත වස්තුව ය.
7) මඳ රෝගයක් ඇති වූ කල්හි දැන් මට සනීපයක් නැත යි නො පැමිණියා වූ මාර්‍ගඵලාදියට පැමිණීමට වෙර නො වඩා නිදා ගැනීම සත් වන කුසීත වස්තුව ය.
8) හටගත් රෝගය සුව වූ කල්හි සනීප වූ හැටියේ ම මට වැඩ නො කළ හැකි ය. තව ම මම දුබල වෙමිය යි මාර්‍ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර නො වඩා නිදා ගැනීම අටවන කුසීත වස්තුව ය.
ආරම්භ වස්තු අට
1) වැඩක් කළයුතුව තිබෙන කල්හි මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ පටන් ගත් කල්හි මට බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නො වන්නේ ය. මා විසින් දැන් දැන් ම නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම පළමු වන ආරම්භ වස්තුව ය.
2) වැඩක් කොට අවසන් වූ කල්හි වැඩ කිරීමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබිණ, ඒ පාඩුව පිරිමැසෙන්නට දැන් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කරමි යි නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යය කිරීම දෙවන ආරම්භ වස්තුව ය.
3) ගමනක් යන්නට ඇති කල්හි ගමන් යාමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නො වන්නේ ය. දැන් දැන් ම මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු යි සිතා නො පැමිණි ධර්මයනට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කිරීම තුන් වන ආරම්භ වස්තුව ය.
4) ගමනක් ගොස් නිම කළ කල්හි ගමන යෑමේ දී මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබිණ. දැන් මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම සතර වන ආරම්භ වස්තුව ය.
5) රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණට නො ලත් කල්හි සෑහෙන පමණට ආහාරයක් නො ලැබුණත් තව ම මාගේ කය සැහැල්ලුය, කර්මණ්‍යය, කය දුබල වී බැරිවන්නට කලින් මා විසින් නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කළ යුතු ය යි නො පැමිණි ධර්මයනට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කිරීම පස්වන ආරම්භ වස්තුව ය.
6) රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ ආහාරයක් සෑහෙන පමණට ලත් කල්හි දැන් මාගේ ශරීරය ශක්තිමත් ය. මේ වේලාවේදී මා විසින් නො පැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීර්‍ය්‍ය කළ යුතුය’යි වීර්‍ය්‍ය කිරීම සවන ආරම්භ වස්තුව ය.
7) සුළු රෝගයක් හටගත් කල්හි මේ රෝගය වර්ධනය වුවහොත් මා හට බුදුන් වහන්සේ ගේ අනුශාසනය මෙනෙහි කරන්නට නො ලැබෙන්නේ ය යි නො පැමිණියා වූ මාර්ග ඵලාදියට පැමිණෙනු සඳහා වීර්‍ය්‍ය කිරීම සත්වන ආරම්භ වස්තුව ය.
8) රෝගාතුර වී සුව වූ කල්හි මා හට රෝගාතුර වී සිටි කාලයේ දී බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරන්නට නොලැබිණැයි නො පැමිණි මාර්ගඵලාදියට පැමිණෙනු සඳහා වෙර වැඩීම අටවන ආරම්භ වස්තුව ය.
වීර්‍ය්‍යයට ප්‍රතිපක්ෂ ධර්ම හා ඒවා ඇතිවීමේ හේතු
වීර්‍ය්‍යයට කෙළින් ම ප්‍රතිපක්ෂ ධර්මයෝ නම් ස්ත්‍යාන මිද්ධ දෙකය. ස්ත්‍යාන මිද්ධ දෙක නැගී සිටින්නා වූ තැනැත්තා ගේ සන්තානයෙන් වීර්‍ය්‍යය බැහැර වන්නේ ය.
“අත්ථි භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ලීනත්තං, තත්ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය” යනුවෙන් කුශල ක්‍රියාවෙහි නො සතුටු බව වූ අරතිය ය, අලස බව ය, ඇඟ පණ නැති බව ය, බත් මත ය, සිත හැකිළෙන බව ය යන මේ කරුණු ගැන අයෝනිසෝ මනස්කාරය බහුල බව ස්ත්‍යාන මිද්ධයන් ගේ ආහාරය හෙවත් උප්පත්ති හේතුව බව වදාරා තිබේ.
ස්ත්‍යාන මිද්ධයන් නුපදීමේ
නො වැඩීමේ දුරු වීමේ හේතු
ථීනමිද්ධයන් නූපදීමේ නො වැඩීමේ දුරු වීමේ හේතු වශයෙන් දැක්වෙන කරුණු වීර්‍ය්‍ය හේතු වශයෙන් ද සැලකිය යුතුය.
“අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස අනුප්පාදාය, උප්පනස්ස වා ථිනමිද්ධස්ස න භිය්‍යො භාවාය න වෙඵුල්ලාය.”
යනුවෙන් ථිනමිද්ධය නූපදීමේ නො වැඩීමේ හේතු දක්වා තිබේ. ආරම්භ ධාතුව ය, නික්කම ධාතුව ය, පරක්කම ධාතුව ය යන ත්‍රිවිධ වූ වීර්‍ය්‍යය පිළිබඳව යෝනිසෝ මනස්කාරය බහුල කොට පැවැත්වීම ථිනමිද්ධයන් නූපදීමේ ද උපන් ථිනමිද්ධයන් නො වැඩීමේ ද හේතුව බව එයින් දැක්විණ.
ආරම්භධාතු යනු යම් කිසි කටයුත්තක් පළමුවෙන් පටන් ගන්නා වීර්‍ය්‍යය ය. පටන් ගත් කටයුත්ත නො නවත්වා කර ගෙන යන්නා වූ ආරම්භ ධාතුවට වඩා බලවත් වූ වීර්‍ය්‍යය කුසීත භාවයෙන් නික්මුණු බැවින් නික්කම ධාතු නමි, පැමිණෙන පැමිණෙන හැම උවදුරක් ම මැඩ පවත්වා ගෙන අභිමතාර්ථ සිද්ධිය තෙක් ඉදිරියට යන බලවත් වීර්‍ය්‍යය පරක්කම ධාතු නමි.