අටුවා නොතිබුනා නම්….
අටුවා පැවතීම නිසා සුරැකුණු අර්ථ එම අටුවා නොතිබෙන්නට මේ වන විටත් විනාශ වී ගොස්ය. විවිධ අය තම තමන්ට කැමති පරිදි පද වල අර්ථ තෝරනු ඇත. අටුවා නොතිබෙන්නට පෙළ පොත් පිළිබඳ පවා විශ්වාසය ගිලිහී යන බව පහත කරුණු අනුව නුවණැත්තෝ සිතා බලත්වා.
බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේම ඇති “එවං මෙ සුතං” “මා විසින් මෙසේ අසන ලදි” යන පාඨය ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රකාශයක් බව කියන්නේ අටුවාවේය. එය නොවන්නට “මේවා පසුකලෙක කවුරුන් හෝ තමාට ඇසුණු ජනප්‍රවාද අනුව ලියූ ග්‍රන්ථ” යැයි අන්‍යාගමිකයෝ චෝදනා කරනු ඇත. එය වළකින්නේ අටුවාව නිසයි.
රතන සූත්‍රාදී ඇතැම් සූත්‍ර වලත්, ධම්මපද, ජාතකදේශනා ආදී ඇතැම් ගාථා වලත් නිදානකථා, පද වල අරුත් ආදී කරුණු දක්වා ඇත්තේ අටුවාවේය. අටුවාවෙන් තොරව මේ කිසිවක දේශනා කිරීමේ හේතුව, දෙසුවේ කවුද, කාටද, කොහේදිද යනාදී කිසි තොරතුරක් දැනගත නොහැකිය.
සම්මුති – පරමාර්ථ, නාම – රූප, ස්කන්ධ – ආයතන – ධාතු – දෙවිසි ඉන්ද්‍රිය – චතුරාර්ය සත්‍ය – පටිච්චසමුප්පාද ආදී ගැඹුරු කරුණු වල අර්ථ ප්‍රකට කරන්නේ අටුවාවෙනි. අටුවාවන්ගෙන් තොරව මෙබඳු බොහෝ තැනක අරුත් ගත නොහැක. මෙකල බොහෝ දෙනෙක් මෙම අරුත් පටලවා ගන්නේ අටුවා-ටීකා භාවිත නොකිරීම හා ඒවා භාවිතයට නොදන්නා නිසාවෙනි. තමන් ගන්නා වැරදි අදහස තවත් බුද්ධදේශනා සමග එකඟ නොවන බව ඇතැමුන්ට තේරුම් යන්නේ කලක් ගතවන විටය. එවිට තමාගේ තත්වය රැකගැනීමට එම බුද්ධදේශනා ද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ඇතැම්හු සැහැසි වෙති. මෙයින් අපමණ අකුසල් රැස්කොට ගෙන අපාගාමී වෙති. එබැවින් පුරාණ උතුමන් දැක්වූ අයුරින් අරුත් විමසා බලන්නේ නම් මෙබඳු ගැටලු සියල්ල විසඳෙනු ඇත.
“සබ්බිත්ථියො කරෙ පාපං ලභමානෙ නිවාතකෙ – ඉඩක් ලබන කල්හි සියලු ස්ත්‍රීහු පවු කරන්නාහුය”
යනාදී ජාතක ගාථා අනුව රහත් භික්‍ෂුණීන් වහන්සේලාත් මෙසේදැයි අන්‍යාගමිකාදීන්ට වාදකළ හැකිය. නමුත් මෙහි අටුවාවේ දක්වන්නේ,
“සබ්‌බිත්‌ථියොති ඨපෙත්‌වා විපස්‌සනාය තනුකතකිලෙසා සෙසා සබ්‌බා ඉත්‌ථියො පාපං කරෙය්‍යුං. – සබ්බිත්ථියො යනු විපස්සනාවෙන් කෙලෙස් තුනීකළ ස්ත්‍රීහු හැර සෙසු ස්ත්‍රීහු පවු කරන්නාහ”
යනුවෙනි.
“සබ්බෙ තසන්ති දණ්ඩස්ස” ආදී ගාථාවන්හි ද මෙබඳු විග්‍රහ දක්වා ඇත. මෙබඳු අටුවා පාඨ නොවන්නට බොහෝ දහම්පාඨ විකෘති කරමින් අරුත් දක්වනු ඇත.
දෙවන පරිජි සිකපදයේ දක්වන පාදය යනු කුමක්ද? එහි වටිනාකම කීයද? යනාදී ගැටලු විසඳෙන්නේ අටුවා හා ටීකා වලිනි.
විනයපිටක මහාවග්ග පාළියෙහිදී සීමා සඳහා නිමිති අනුදැනීමේදී පබ්බතනිමිත්ත, පාසාණනිමිත්ත ආදී නිමිති අටක් දක්වන අතර එයින් පබ්බත හා පාසාණ යන දෙකේ වෙනස දතහැකි වන්නේ අටුවාවෙන් හා ටීකා වලිනි. සෙසු නිමිති පිළිබඳව ද කිය යුත්තේ මෙබඳු වූම දෙයකි. මෙබඳු තැන් වෙන්කර දේශනාකිරීමට බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසිවෙක් සමත් නොවේ. එබැවින් මෙබඳු දේශනා ඒකාන්තයෙන් බුද්ධදේශනාම බව සැලකිය යුතුය.
විතක්කසණ්ඨාන සූත්‍රයේදී යෝගීන්ට ඇතිවන අකුසල් විතර්ක දුරුකර ගැනීමට උපදෙස් දෙන භාග්‍යවතුන් වහන්සේ,
“ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛුනො යං නිමිත්‌තං ආගම්‌ම යං නිමිත්‌තං මනසිකරොතො උප්‌පජ්‌ජන්‌ති පාපකා අකුසලා විතක්‌කා ඡන්‌දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්‌ඛවෙ, භික්‌ඛුනා තම්‌හා නිමිත්‌තා අඤ්‌ඤං නිමිත්‌තං මනසි කාතබ්‌බං කුසලූපසංහිතං.”
යනාදී ලෙස උපදෙස් දෙන සේක. (යම් භික්‍ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කිරීමේදී අකුසල් විතර්ක ඇතිවේද, එයින් අන්‍ය වූ කුසල් විතර්කයක් මෙනෙහි කළ යුතුය යනු එහි සරල අර්ථයයි).
මෙහිදී සියලු කුසලධර්ම සියලු අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ බැවින් කුමක් හෝ කුසලයක් මෙනෙහි කලහැකි නමුත් සවිඤ්ඤාණක (පණ ඇති) දේකට රාගයක් ඇති වූ විට අසුභ මනසිකාරයත්, එබන්දකට ද්වේෂය ඇති වූ විට මෛත්‍රී මනසිකාරයත්, අවිඤ්ඤාණක දේකට ඇල්ම ඇතිවිට අනිත්‍ය සඤ්ඤාවත් එබන්දකට ගැටීම ඇති විට ධාතුමනසිකාරයත් කුමන දේකට හෝ මෝහය අධික විට “ගරූසංවාසො” (ගුරුන් ඇසුරු කිරීම) ආදී කරුණු පහක් පිළිපැදීමෙන් එය දුරුවන බවත් ඒ එකිනෙකක් සිදුකරන අයුරුත් ඉතා පැහැදිලිව අටුවාවේ දක්වා ඇත. බුදුරජාණන් වහන්සේගේ න්‍යායන්ගෙන් තොරව කිසිසේත් මෙබඳු උපදෙස් ලබාදිය නොහැකි බැවින් මෙබඳු අටුවා පාඨ සියල්ල බුද්ධදේශනාම බව දතයුතුය.
අටුවා නැති නම් ධුතංග සමාදානාදිය නිවැරදිව කළ නොහැක, කසිණ වැඩීමාදිය ද නිවැරදිව කළ නොහැක, ඒවායේ විස්තර ඇත්තේ අටුවාවන්හි බැවිනි.
තවත් මෙබඳු තැන් අතිවිශාල ප්‍රමාණයක් මුළු ත්‍රිපිටකය පුරාම දක්නට ඇත. නමුත් නුවණින් විමසන්නන්ට මෙපමණක් සෑහෙන්නේ යැයි සිතමු. දැනටත් වෙනත් බෞද්ධ රටවල පිරිස් ශ්‍රී ලංකාවට ගරු කිරීමට එක් හේතුවක් වන්නේ සියලු පෙළ, අටුවා ග්‍රන්ථත් බොහෝ ටීකා ග්‍රන්ථත් මෙරට වැසි උතුමන් අතින් ලියැවුණු බැවිනි. අටුවාවන්හි දැක්වෙන සිංහල භික්‍ෂූන්ගේ ගුණ පිළිබඳ ඇති ගෞරවයද තවත් කරුණකි. අටුවා සහිත ත්‍රිපිටකය කටපාඩමින් දරාගෙන පැමිණි උතුමන් වන දීඝභාණක අභය, ත්‍රිපිටක චූලාභය, ත්‍රිපිටකචූළනාග ආදී ක්‍ෂීණාශ්‍රව උතුමන්ගේ විශ්මයජනක ප්‍රඥාදී ගුණ අටුවාවන්ගෙන් ප්‍රකට වීමාදිය මෙම ගෞරවය ඇතිවීමට තවත් හේතුවකි. එසේ අප රටට අන්‍යයන්ගේ ගෞරවය ගෙනදුන් අටුවා අප රටේ අය අතින්ම පහරකෑමට ලක්වීම කෙතරම් ඛේදජනකදැයි සිතාබලත්වා.
අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු.
‘‘සගාරවො වුඩ්‌ඪතරෙසු භික්‌ඛුසු;
ආචෙරකම්‌හි ච සකෙ විසාරදො;
අලං පමෙතුං පගුණො කථෙතවෙ;
පච්‌චත්‌ථිකානඤ්‌ච විරද්‌ධිකොවිදො.”(මහවග- උපාලිසඞ්‌ඝසාමග්‌ගීපුච්‌ඡා -කොසම්‌බකක්‌ඛන්‌ධකො
බුද්ධජයන්ති මහවග 2 හි 893 පිටුව – 71 වන ගාථාව)
වැඩිමහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්යවාදයෙහි විශාරද වෙයි. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්නට (විනිශ්චය කරන්නට) සමර්ථ වෙයි. කියයුත්තෙහි කළ පරිචය ඇත්තේ වෙයි. පසමිතුරන් (වැරදි මතධාරීහු) වැරැද්ද වූ තැන් දැක්මෙහි දක්ෂ වෙයි.
මෙම සාසනයට අනුබල දීමටත් විනය විනිශ්චයාදිය සිදුකිරීමටත් සුදුසු වන්නේ කවර ගුණ වලින් යුත් භික්ෂුවක්දැයි උපාලි මහ රහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරණ ලදුව එම සුදුසුකම් දක්වමින් වදාළ ගාථා අතුරින් එක් ගාථාවක් හා එහි තේරුම ඉහත දක්වන ලදි. මෙහි ආචාර්යවාදය යනු බුද්ධකාලයේ පටන් පැවතුණු අර්ථ විවරණයි. එනම් අටුවායි.
‘‘ද්‌වෙමෙ, භික්‌ඛවෙ, ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ ද්‌වෙ? දුන්‌නික්‌ඛිත්‌තඤ්‌ච පදබ්‍යඤ්‌ජනං අත්‌ථො ච දුන්‌නීතො. දුන්‌නික්‌ඛිත්‌තස්‌ස, භික්‌ඛවෙ, පදබ්‍යඤ්‌ජනස්‌ස අත්‌ථොපි දුන්‌නයො හොති. ඉමෙ ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌තී’’ති.
(බු.ජ-අං.නි 1- 116-117 පිටු-20 ඡේදය)
මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක් ද යත්: උපිලිවෙලින් වරදවා ගත් (පද පිළිවෙල මාරුකර ගත්) පෙළ ද වරදවා පෙරළා ගත් (පරිවර්තනය කළ) අටුවා ද යන දෙකය. යනු එහි තේරුමයි.
ශ්‍රී සද්ධර්මය අතුරුදන් වීමට බලපාන කරුණු දෙකින් එකක් ලෙස දක්වා ඇත්තේ අර්ථය වරදවා ගැනීමයි. බුද්ධකාලයේ පටන් මහරහත් උතුමන් අතින් අපට ලැබුණු අර්ථ විවරණ අඩංගු අටුවා තිබියදීත් මෙකළ මෙතරම් අර්ථ වරදවන්නේ නම් එම අටුවා නොතිබුනේ නම් කුමන තත්වයක් උද්ගත වේදැයි නුවණැත්තෝ සිතා බලත්වා.
‘‘ඉධාවුසො සාරිපුත්‌ත, භික්‌ඛු අත්‌ථකුසලො ච හොති, ධම්‌මකුසලො ච, බ්‍යඤ්‌ජනකුසලො ච, නිරුත්‌තිකුසලො ච, පුබ්‌බාපරකුසලො ච. එත්‌තාවතා ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛු ඛිප්‌පනිසන්‌ති ච හොති කුසලෙසු ධම්‌මෙසු, සුග්‌ගහිතග්‌ගාහී ච, බහුඤ්‌ච ගණ්‌හාති, ගහිතඤ්‌චස්‌ස නප්‌පමුස්‌සතී’’ති.”
(අං.නි 3.-ඛිප්පනිසන්ති සු. 326,327 පිටු)
ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂුවක් අර්ථයෙහි (අටුවාවෙහි) ද දක්ෂ වෙයි. පාළි ධර්මයෙහි ද දක්ෂ වෙයි. නිරුක්ති වචනයෙහි ද දක්ෂ වෙයි. පුර්ව අපරය ගැලපීමෙහි ද දක්ෂ වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මෙපමණකින්ම භික්ෂුවක් කුසල ධර්මයෙහි ඉක්මණින් අසා නිවැරදිව දරන්නේද, මනාව ඉගෙන ගන්නේද, බොහෝ ඉගෙන ගන්නේද, ඉගෙන ගත් දෙය නොනැසී පවත්නේ ද වන්නේය. යනු එහි තේරුමයි.
අත්‌ථකුසලොති අට්‌ඨකථාය ඡෙකො. ධම්‌මකුසලොති පාළියං ඡෙකො. (අත්ථකුසලො යනු අටුවාවෙහි දක්‍ෂ යනාර්ථයි, ධම්මකුසලො යනු පෙළෙහි දක්‍ෂ යනාර්ථයි.) (අං.නි.අටුවා)
ලිපිය සැකසීමට උපකාරී වූ සියලූම ධර්‍ම විනයධර උතුමන්ට නමස්කාර වේවා…
තුනුරුවන්ගේම සරනයි.
සද්ධර්ම නඳිය තවත් බොහෝ කල් සුවසේ ගලා බසීවා…
යහපතක් ම වේවා…
සම්පාදනය – අමිල රුවන්