ත්‍රිපිටක ඉතිහාසය
මහාවිහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය
අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යාවලිය ආරම්භ කිරීමේ දායකත්වය දැක්‌වූ මුඛ්‍යතම පාලන යුගය ලෙස සලකනු ලැබේ. එකල සහ ඊට පෙරද පශ්චාත් අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි, සීගිරි කුරුටි ගී සහ දම්පියා අටුවා ගැටපද වැනි සන්න පොත් පත් ලිපි ලේඛනද අප සතු මහාර්ඝ දායාදයෝ වෙති. අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය පමණක් නොව පොදුවේ පාලි භාෂාව සහිත බෞද්ධ සාහිත්‍යයේද ස්‌වර්ණමය යුගය ලෙස හැඳින්වීම නිවැරදි ය.
අනුරාධපුර යුගයේ ප්‍රකටව පැවැති අද නාම ශේෂ බවට පත්ව ඇති ප්‍රධාන හෙළ අටුවා ග්‍රන්ථ තුනක් පිළිබඳව සාකච්ඡා කරති. ඒවා නම් මහා අටුවාව, මහා පච්චරි අටුවාව සහ කුරුන්දිවෙල්ලි අටුවාවයි. අපි දන්නා තරමින් පාලි මහාවංස, දීප වංස, මහා බෝධිවංස, ථුපවංස ආදී අනුරාධපුර යුගයට ආසන්න පාලි වංස කතා ගැන සාකච්ඡා කරන විට පවා එම ග්‍රන්ථවලට මුල් වූ සිහල බසින් රචිත මුල් අටුවා ග්‍රන්ථ ගැන සාකච්ඡා කරනු ඇත. සීහලට්‌ඨකථා මහාවංස, වංසත්ථ පකාසිනී හෙළ බෝධිවංස අටුවා ආදිය ගැන එම ග්‍රන්ථවලින්ද තොරතුරු ලැබේ. ක්‍රි.පූ තුන්වන සියවසට පමණ අයත් ඉපැරණි තෝනිගල සෙල්ලිපිය පවා ප්‍රාකෘත සිංහල භාෂාවෙන් රචනා වූවකි. එකල ලියවුණු මිහින්තලා බදුල්ල, වේවැල්කැටිය, වෙස්‌සගිරි පුවරු ලිපිවල පවා විද්‍යමාන වන්නේ සිංහල භාෂාවේ සංවර්ධනයේ ඉතිහාසයයි.
පාලි භාෂාව සමග අපේ භාෂා ඉතිහාසය බද්ධ වන්නේ මහින්දාගමනයත් සමගිනි. පාලි ත්‍රිපිටකය සමග පාලි අට්‌ඨකථාද අපේ සාහිත්‍යයට ආලෝකයක් සපයන්නේ මෙම යුගයේ සිටය. එතැන් පටන් අනුරාධපුර නන්දන උයන කේන්ද්‍ර කර ගනිමින් විහාරාරාම ගොඩනැගෙන අතර භික්‌ෂු සමාජයද විසි දහස ඉක්‌මවමින් අනුරාධපුරය කේන්ද්‍රීය ශාසනික රාජධානියද වේ. මෙයින් ප්‍රමුඛ වන්නේ අනුරාධපුර මහා විහාරයයි. රාජ්‍ය පාලකයන් සහ භික්‌ෂූ ආකල්පවල මතභේද ඔස්‌සේ පසුව අභයගිරිය සහ ඡේතවන විහාර ඇරඹෙන අතර, මේවායේ ශාසනික තර්ජනය ඉස්‌මතුවන්නේ ධර්ම විරෝධී ආකල්ප සහ විනය විරෝධී පිළිවෙත ඉස්‌මතු වීම නිසාය. කෙසේ නමුත් මහා විහාරයේ භික්‌ෂුන් තුන් දහසක් වැඩ සිටින විට අභයගිරියේ භික්‌ෂුන් පන් දහසක් වැඩ සිටිති. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස දළදා වහන්සේ පළමුව වැඩම කරවන්නේ අභයගිරිය විහාරයටය. මහා විහාරය තරමටම අභයගිරි විහාරය ප්‍රබල මට්‌ටමක පැවැති බව සිතිය හැකි නමුත් ඡේතවන විහාරය තුළ එසේ ප්‍රබල භූමිකාවක් ඉස්‌මතු නො වේ.
ඒ සියල්ලට වඩා අනුරාධපුර මහා විහාරය ධර්ම ශාස්‌ත්‍රීය සේවාවට ප්‍රබලව කැපී පෙනෙන ආයතනය ලෙස ඉස්‌මතු වන්නට ඇත. මහා විහාරය සැමවිටම වෑයම් කළේ බුදුන් වදාළ ධර්මය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම සහ තමන් සතු හෙළ අටුවා සමුදාය රැකබලා ගෙන ඒවා මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමටය. ක්‍රි.ව. පස්‌වැනි සියවස ත්‍රිපිටක සාහිත්‍යයේ ආරම්භක වර්ෂය ලෙස සටහන් කරන්නේද, සාහිත්‍යයක් වශයෙන් එම අරමුණු පුළුල් පරාසයකට පාත්‍රවීම මෙකල සිදුවීම නිසාය. ධර්ම ග්‍රන්ථකරණයේ නිරත වූ පඬිවරුන්ගේ කේන්ද්‍රීය භූමිභාගය මහා විහාරය වේ. සෑම අන්ධකාර යුගයකම සාහිත්‍යාලෝකය පතුරුවාලීම සහ සාහිත්‍ය උද්දීපනයට යම් කිසි ආයතනයක් හෝ පැවිදි පඬිරුවනක හෝ පහළ විය. අනුරාධපුර යුගයේ මහා විහාරයට එම ගෞරවය හිමි වේ.
ක්‍රි.ව. පස්‌වැනි ශත වර්ෂය අනුරාධපුර මහා විහාරයට ඉතා වැදගත් කාලයකි. දකුණු ඉන්දීය බෞද්ධ පඬිවරයකු වූ අට්‌ඨකථාචාරී බුද්ධ ඝෝෂ මාහිමි ලංකාවට වැඩම කළේ මෙම වකවානුවේ දී ය.
බුද්ධඝෝෂ හිමියන්ගේ උපාධ්‍යාය රේවත හිමියන් තම ශිෂ්‍ය පුත්‍රයා ලංකාවට එවන්නේ පාලි භාෂාවෙන් අට්‌ඨකථා ලිවීමට වඩා, ලක්‌දිව මහා විහාරය සතු හෙළ අටුවා ග්‍රන්ථ පාලි භාෂාවට රචනා කොට පරිවර්තනය කිරීමෙන් ජාත්‍යන්තර (දීපන්තර වාසීන්) ප්‍රයෝජනය වැඩිවන බව පවසමිනි. මහානාම සිරිනිවාස නම් රාජ්‍ය පාලන යුගයේ වැඩම කළ බුද්ධඝෝෂ මාහිමි එකල මහා විහාරයේ අධිපති පදවිය හෙබවූ සංඝපාල මහතෙරුන්ගේ අධීක්‌ෂණයට ලක්‌විය. බුද්ධමිත්ත වැනි මහා විහාරික මහතෙරවරුන් රැසක් මහා විහාරයේ වැඩ සිටියද, මහා විහාරයට ද දැඩි අවශ්‍යතාව තිබුණේ හෙළ අටුවා ඉක්‌මනින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමය. දුරසංකර පිරිවෙන, පධානඝරය, ලෝවාමහාපාය, දීඝසන්ද සේනාපති පිරිවෙන ආදී කේන්ද්‍රගත අධ්‍යාපන ආයතන රැසක් මහා විහාරය යටතේ පාලනයවූ නිසා, ධර්ම ශාස්‌ත්‍රීය රාමුවක් තුළ ධර්මය සුරක්‌ෂිත කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට බුද්ධඝෝෂ හිමියන්ගේ පෘථුල පාණ්‌ඩිත්‍යය මහා විහාරයට ආලෝකයක් විය.
මෙකල අභයගිරියද ශාස්‌ත්‍රීය කටයුත්තක් සිදුකර තිබිණි. එනම් විමුක්‌තිමග්ග නමින් නිවන්මග හෙළිකරන ග්‍රන්ථයක් රචනා කර තිබීමය. එහි කතුවරයා අභයගිරියේ උපතිස්‌ස නම් තෙර නමකි. විමුක්‌ති මාර්ගයට වඩා උසස් කෘතියක් රචනා කිරීමේ අභිලාෂය මහා විහාරය සතු අභියෝගයකි. ඒ නිසා විමුක්‌ති මාර්ගය පරිශීලනය කරමින් එයට වඩා දහස් ගුණයකින් පිරිපුන් බණවර පනස් අටකින් යුක්‌ත මහාර්ඝ ග්‍රන්ථයක් ලෙස බුද්ධඝෝෂ හිමියන් විසින් විසුද්ධිමග්ග රචනා කරන ලදී. මෙතැනදී මහා විහාරය සතු ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදායද ඉස්‌මතු කර පෙන්වීමට මහා විහාරය වග බලා ගත්තේය. හිතුවක්‌කාර ලෙස ධර්මය තමන්ට රිසි පරිදි අර්ථ ගැන්වීම නො ව සතර මහාපදේස විකසිත වන පරිදි මහා විහාර ධර්ම ශාස්‌ත්‍රිය රටාවක් ගොඩනැංවීමට මහා විහාරයට හැකිවූයේද බුද්ධඝෝෂ හිමියන් ගේ ආගමනය නිසා ය. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්‌නට ලැබෙන සතර මහා පදේස ධර්ම විනිශ්චයේදී වැදගත් වේ. බුද්ධපදේස, මහාථේරාපදේස, සංඝථේරාපදේස සහ ඒකථේරාපදේස යනු සතර මහා පදේස වේ.
ධර්මය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීමේදී බුදුරදුන් වදාළ නියමය ධර්ම විනයානුකූලව පිළිගැනීම වූවද ව්‍යක්‌ත විනීත විශාරද ධර්මානුධර්ම පටිපන්න මාතෘකාධාරි මහතෙරනමකගේ හෝ සංඝථෙරවරයකුගේ නියමයට අනුව ධර්ම විනය ප්‍රාමාණිකත්වයෙන් පිළිගැනීම සතර මහ පදේසවල අභිප්‍රාය විය. බුදුරදුන් ජීවමාන කාලයේ එලෙස ධර්මය පරියාය, විස්‌තර වශයෙන් විග්‍රහ කරන ලද මහතෙරවරු කීපනමක්‌ම බුදුරදුන්ගේ ප්‍රශංසාවට ලක්‌විය. සාරිපුත්ත, ආනන්ද, මහාකොට්‌ඨිත, කච්චාන ආදී මහරහත්හු ඒ අතර වෙති. දේවානම්පියතිස්‌ස මහරජු මහාමේඝවනෝද්‍යානය මෙලෙස විහාරාංගවලින් සරසද්දීම මහාවිහාරයද ස්‌ථාපිත විය. මෙහි කීර්තිය දසක සියවස් ගණනාවක් පුරා ප්‍රචලිතව පැවතුනි. මහාවිහාරයටද බුද්ධඝෝෂ වැනි බල සම්පන්න පඬිවරයකුගේ සේවය සොයමින් සිටි යුගයක, සූත්‍ර පිටකයේ දීඝ, මඡ්ධිම සංයුත්ත සහ අංගුත්තර යන නිකාය ග්‍රන්ථවල අභිප්‍රාය ඉස්‌මතු වන ලෙස ශාස්‌ත්‍රීය සංග්‍රහයක් නිකුත් කිරීමේ අදහස තදින් දැනෙන්ට විය. හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමට පෙර සිය සම්භාරය සහ පෘථුල පාණ්‌ඩිත්‍යය පළ කිරීමට විසුද්ධිමග්ග රචනා කළ හ.
බුද්ධඝෝෂ මහ තෙරුන් විසින් රචිත පාලි අට්‌ඨකතා රැසකම සඳහන් කර ඇති අන්දමට පුරාණ අට්‌ඨකථාවක සාරය ගෙන (පෝරාණ අට්‌ඨකථං සාරං ආදාය) හෝ මුල් අටුවා ග්‍රන්ථයක සාරය ගෙන (මුලට්‌ඨකථංසාරං ආදාය) අට්‌ඨකථා රචනා කර ඇති බව හෙළිකරති. ඒ නිසා හෙළ අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කර ඇති බව අවිවාදයෙන් පිළිගත හැකිය. එසේනම් මෙම හෙළ අටුවා සුරක්‌ෂිතව රැකගත්තෝ අන් කවරකු හෝ නොව අනුරාධපුර මහා විහාරය බව පැහැදිලිය.
හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමත් විසුද්ධිමග්ග රචනා කිරීමත් තුළ මහාවිහාර සතු භූමිකාව නිරූපණය වේ. පිරිසිදු බුදුදහම
රැකගැනීම මහා විහාරය සතු වගකීම වේ. ඒ නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියන්ට සහ පශ්චාත් අට්‌ඨකතාකරුවන් වූ බුද්ධදත්ත ධම්මපාල වැනි තෙරවරුන්ටද මහා විහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදායට අවනතව ධර්ම ග්‍රන්ථකරණයේ නිරතවීමට සිදුවිය. මහා විහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය කරුණු දහයකින් නිර්මිත වේ.
1. හේතු – ඵල සිද්ධාන්තය පදනම් කරගත් විභඡ්ජවාදි සම්ප්‍රදායට බැසගැනීම (විභඡ්ජවාදි මණ්‌ඩලං ඔතාරෙත්වා.
2.ගුරුකුලවලට අයත් අසත්‍ය දෝෂාරෝපණවලින් සහ මතවාදවලින් බැහැරවීම (ආචරියේ අනබ්භාචික්‌ඛන්තේන.
3. ස්‌වකීය මතවාද නොපිළිගැනීම සහ බැහැර කිරීම (සකසමයං අවොක්‌කමන්තේන)
4. අනුන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට හෝ පිළිගැනීමට වෑයම් නොකිරීම (පරසමයං අනායුහන්තේන
5. මූලික සුත්‍ර දේශනා මතය නොඉක්‌මවීම (සුත්තං අප්පටිබාහන්තේන)
6. විනයානුකූලවීම (විනයං අනුලොමෙන්තෙන)
7. සතර මහා පදේස අවලෝකනය කිරීම (මහාපදෙසෙ ඕලොකෙන්තේන
8. ධර්මය බැබැළවීම (ධම්මං දීපන්තෙන)
9. අර්ථ ව්‍යක්‌ති සංග්‍රහ කිරීම (අත්ථංසංගහන්තේන)
10. මූලික අර්ථ නැවත විමර්ශනය කර අනෙකුත් පර්යාය අර්ථ ව්‍යඤ්ජන සමග සංසන්දනය කිරීම (තමෙව අත්ථං පුනරාවත්තෙත්වා අපරෙ හිපි පරියායෙහි නිද්දිසන්තේන)
බුදුරදුන් ජීවමාන කාලයේම වදාළේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව තම ශ්‍රාවක සිව්වණක් පිරිසට ශාස්‌තෘවරයා වන්නේ ධර්මය සහ විනය බවයි. පුද්ගල නායකත්වයට වඩා ධර්මමය ආකල්ප නායකත්වය ධර්ම විනය උද්දීපනයට ඉවහල් වේ. ධර්මය ශාස්‌තෘත්වයේ තබා ගැනීම නිසා විශේෂයෙන් භික්‌ෂු සමාජය තුළ ධර්මානුධර්මපටිපන්න සඟ පරපුරක් බිහි වේ. බුදුරදුන් වදාළේ ධර්මය වැසී තිබුණහොත් නොබබළවන බවයි. බුදුන් වදාළ ධර්මය සාකච්ඡාවට සම්මන්ත්‍රණයට විවෘත වූ තරමට එය බබළන බවත් එමගින් ජනතාව අතර ප්‍රචලිත වන බවත් ය.
මහා විහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය වඩාත් ආලෝකමත් වූයේ පාලි අට්‌ඨකථාකරණය තුළිනි. එනම් ක්‍රි.ව. පස්‌වන සියවසේදී ය. මූලික බුදු සමය මුල් සූත්‍ර දේශනාවලට අනුකූලව සංරක්‌ෂණය කිරීම මහා විහාරයේ අභිප්‍රාය වූවත් මූලික ධර්මයට හානියක් නොවන පරිදි අර්ථ විවරණ පර්යාය විස්‌තර ඉදිරිපත් කිරීම ට ඉඩ සලසා තිබිණි. ඒ නිසා හෙළ සහ පාලි අර්ථකතා සාහිත්‍ය තුළින් අනුරාධපුර යුගයේ සමාජ සංස්‌කෘතික අර්ථ විවරණ ඉදිරිපත් කිරීමට ද අටුවාචාරි ඇදුරන්ට හැකිවූහ. අට්‌ඨකථා සම්පාදනයට අදාළ මූලික කරුණු දහය තුළද දිස්‌වන්නේ මහා විහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදායේ පොදු සම්මුතිය යි. මහා විහාරය අන්තර්ජාතික කීර්තියට පත් මහ වියතුන්ගෙන් පිරිපුන් ආයතනයකි. එයට අභියෝග කිරීමට කිසිවකුට නො හැකි විය. ඒ නිසාම පිරිසිදු අට්‌ඨකථා සම්ප්‍රදායක් අපට ශේෂ විය. එ බැවින් මහා විහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය අප ට ආවේණික ව වූ අපේ ම ධර්ම න්‍යාය පිළිවෙත බව සිහිපත් කරමු.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් නිසා වළගම්බා රාජ්‍ය යුගය අනුස්මරණීය අවධියක් ලෙස ඉතිහාසයෙහි සඳහන් වේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම මෙ හි ලා ඉතා වැදගත් සිද්ධියක් ලෙස සැලකිය හැකි ය. එහෙත් එය වූ කලී නිරායාසයෙන් හෝ අහම්බෙන් හෝ සිදුවූවාක් නො ව සමකාලීන ව පැන නැගුණු දේශපාලන හා ශාසනික පරිසරය විසින් මෙහෙයවන ලදුව, දුර දක්නා නුවණින් ක්‍රියා කළ මහ තෙරවරුන් වහන්සේලාගේ ප්‍රශංසනීය උත්සාහයක ප්‍රතිඵලයකි.
බ්‍රාහ්මණ තිස්ස ගේ කැරැල්ල
වට්ඨගාම්ණී කුමරු මුල්වරට රජ පැමිණ පස් මසක් ගත වන්න ට පෙර, තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් රජු ට විරුද්ධ ව රුහුණේ කැරැල්ලක් ඇති කළේ ය. ඒ සමග ම ඉන්දියාවේ ද්‍රවිඩයෝ සත් දෙනෙක් පිරිස් සහිතව රජු හා යුද්ධයට සැරසුනා හ. උපායේ දක්ෂ රජතුමා කැරලිකාර තිස්ස බමුණා ට ලිපියක් යවමින් “ඔබ ට රාජ්‍යය පවරමි. දෙමළුන් හා යුද්ධ කරවය” යි දන්වා යැවී ය. ද්‍රවිඩයන් සමග සටන් කළ තිස්ස බ්‍රාහ්මණයා පරාජය ට පත්විය. ඉන්පසු ද්‍රවිඩයන් රජු සමග යුද්ධය ට පැමිණි බැවින් රජ සැඟවී ගොස් කලෑ වැදුණි. මේ කාලයේ දී ම, ලංකා ඉතිහාසයේ කිසි කලෙක ඇති නො වූ විරූ දරුණු සාගතයක් අවුරුදු දොළොසක් මුළුල්ලෙහි පැවැත්තේ ය. වැසි නො ලැබීමෙන් ගොවිතැන් කළ නො හැකි වූ හ. මිනිස්සු කඳුකර වන පෙදෙස්වල ට ඇතුළු ව කොළ මුල් ආදිය කමින් ජීවත් වූ හ. මිනිසුන් ගම් හැර දමා ගිය බැවින් භික්ෂූහු අනාථ වූ හ. එයින් බොහෝ දෙනෙක් විදේශවල ට ගිය හ. ටික දෙනෙක් මෙහි ම වසමින් යම්තම් ආහාරයකින් ජීවිතය රකිමින් කට පාඩමින් ගෙන ආ ධර්මය රැක ගත් හ. ඒ අවධියෙ හි භික්ෂූන් ට මුහුණ පාන්න ට සිදුවූ අනේකවිධ දුෂ්කරතා ගැන අටුවා ග්‍රන්ථයන්හි සඳහන් වේ.
රට හැරදමා නො යාම ට තීරණය කොට මෙ හි ම විසූ මහාසේන, ඉසිදත්ත, චුලසීව, යන තෙරවරුන් තුන් නමක් පිළිබඳ ව සම්මෝහනවිනෝදනී අටුවාවේ සඳහන් වෙයි. චූලසීව තෙරණ්වෝ දිනක් මහාසෑය වැඳපුදා ගැනීම ට ගිය හ. එවකට මහා විහාරය හිස් ව තිබුණි. මහාසෑ මළුවේ එඬරු ගස් වැඩී තිබුණේ ය. මහාසෑය සෙවලින් වැසී තිබුණි. එ තැනින් නික්ම ගිය උන්වහන්සේ දැදුරු ඔය අසළ කොළ කා ජීවත් වූ මිනිසුන් සිටි තැනකට ගොස් කල් ගෙවූ හ.
ඉසීදත්ත හා මහාසේන යන තෙරවරුන් දෙනම ට මේ කාලයෙ හි අතිශය දුෂ්කරතාවකට මුහුණ පාන්න ට සිදුවී ඇත. උන්වහන්සේලා දෙනම මී ගෙඩිවල පොතු අනුභව කොට සත් දිනක් ද, අමු මානෙල් දඬු කා සත් දිනක් ද, ගතකළ සැටි එම අටුවාවේ සඳහන් වේ. එ කල තිස්සමහාරාමයෙ හි ද, සිතුල්පව් විහාරයේ ද, තුන් අවුරුද්දක් ම යැපෙන්න ට තිබුණු වී මීයන් විසින් කන ලද බවත්, ඒ හේතුවෙන් විශාලසංඛ්‍යාවක් භීක්ෂූන් වහන්සේලා, මරණය ට පත්වූ බව ත් අටුවාවේ සඳහන් වේ.
ධර්මය රැක ගැනීමට උනන්දු වීම
මේ අවධිය වන විට ත්‍රිපිටක ධර්මය පවත්වාගෙන ආයේ ශිෂ්‍යානු ශිෂ්‍ය මුඛ පරම්පරාවෙනි. මේ දුෂ්කර අවධියෙ හි ධර්මයේ සමහර කොටස් ඉගෙනගෙන සිටි ඇතැම් භික්ෂූහු මරණය ට පත්වූ හ. සාගින්නෙන් දුර්වල වූ බොහෝ භික්ෂූන් වහන්සේලා ට නිසි අයුරින් ධර්මය ඉගෙනීමට නො හැකි වූ හ. මේ තත්ත්වය යටතේ ධර්මයේ ඇතැම් කොටස් නැති වී යා හැකි ය, යන බියක් ශාසන මාමක භික්ෂූන් වහන්සේලා තුළ පැවතිනි.
එ බැවින් ධර්මය කට පාඩමින් දත් භික්ෂූහු ඒ ඒ ධර්ම කොටස් අභාවයට යාමෙන් මුදවා ගැනීම පිණිස හැම උත්සාහයක් ම ගත් හ. මනෝරථපූරණී අටුවාවේ සඳහන් වන අන්දමට ඉන්දියාව ට යාමේ අදහසින් සමූද්‍ර තීරය තෙක් පවා ගිය සැටනමක් භික්ෂූහු ආපසු දකුණු මලය රට ට අවුත් මුල් සහ කොළ පමණක් ආහාරයට ලබමින් විසූ හ. තමන් කට පාඩමින් දැන සිටිය ධර්මය අමතක වේ ය යන බියෙන් ඒවා අත් නො හැර සජ්ඣායන කළ හ. මෙ වැනි තොරතුරුවලින් පෙනී යන්නේ කටපාඩමෙන් පැවතගෙන ආ ධර්මය රැක ගැනීම ට එවක සිටි මහාතෙරවරුන් ට දැඩි ප්‍රයත්නයක යෙදෙන්න ට සිදු වූ බවයි.
ශාසනික පරිහානියක්
ත්‍රිපිටක ධර්මය රැක ගැනීමට නො පසුබට උත්සාහයෙන් ක්‍රියාකළ ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේලා කීප නමක් මේ අවධියේ සිටි නමුත් බුදු සසුන තුළ යම් ප්‍රමාණයක පරිහානියක් ද, දක්නට ලැබුණි. සුත්ක නිපාතයට අයත් මහානිද්දේශය කට පාඩමින් දැන සිටි චතුනිකායික තිස්ස තෙරුන් අපවිත්‍ර චරිතයක් ඇති භික්ෂුවක් හැටියට පිළිගෙන තිබුණු බව සමන්තපාසාදිකාවේ සඳහන් වේ.
ශාසනයේ දියුණුවට ආධාර කළ සිංහල රජවරුන් ගේ බලය අඩු වී යාම ත්, ලෞකික සැප කෙරෙහි ඇලුණු පුද්ගලයින් සසුන ට ඇතුල්වීම ත්, මෙවැනි පරිහානියක ට තුඩුදෙන්න ඇතැ යි සිතිය හැකි ය. මේ අනුව දුසිල් භික්ෂූන් නිසා ත්‍රිපිටක බුද්ධ ධර්මය ව්‍යාකූල වේ ය යන බියක් ද ශාසන භාරධාරි මහතෙරවරුන් තුළ හට ගන්නට ඇත. එ බැවින් ධර්මය නො වෙනස්ව සුරැකි ව තැබීමේ වැඩ පිළිවෙලක් ගැන උන්වහන්සේලා කල්පනා කරන්න ට ඇත.
පර්යාප්ති ප්‍රතිපත්ති වාද
වර්ෂ කීපයක් ගතවීමෙන් පසු බ්‍රාහ්මණ තිස්ස මළේ ය. දුර්භික්ෂ භය තුරන් විය. වට්ටගාමිණී අභය දෙවන වර (ක්‍රි. ව. 88-76) රජවිය. ඒ සමග ම “සසුනේ පැවැත්ම පර්යාප්ති මූලක ද? ප්‍රතිපත්ති මුලක ද? ” යන්න පිළිබඳ ව උන්වහන්සේලා අතර මතභේදයක් හට ගැනුනි. මනෝරථ පුරණි අටුවාව ට අනුව මෙ ම සාකච්ඡාව ඇතිවූයේ පාංශුකූලික හා ධර්ම කථික යන භික්ෂූන් වහන්සේලා දෙපක්ෂය අතර ය.
එ හි දී පාංශුකූලිකයෝ ශාසනය ප්‍රතිපත්ති මූලික ය යි ද, ධර්මකථිකයෝ පර්යාප්ති මූලික ය යි ද කී හ. භික්ෂූන් ගේ මනා පැවැත්ම ඇතිතාක් කල් ලෝකය රහතුන්ගෙන් නො සීස් වන්නේ යැ යි ප්‍රතිපත්තිවාදී පාංශුකූලිකයන් තර්ක කළ අතර, සූත්‍රාන්තය (පර්යාප්තිය) රැකෙන කල් හි ප්‍රතිපත්තිය ආරක්ෂා වේ යැ යි පර්යප්තවාදී ධර්ම කථිකයෝ පෙන්වා දුන් හ. මේ වාදයෙන් පර්යාප්තිවාදීහු ජය ගත් හ. විදර්ශකයන් දහස් ගණනක් සිටිය ත්, පර්යාප්තිය නැති වුවහොත් කිසිවෙකු ට ත් නියම ප්‍රතිෂ්ඨාවක් ඇතිවිය නො හැකි බව අවසානයේ ප්‍රතිපත්තිවාදීහු ද පිළිගත් හ.
සැබැවින් ම පර්යාප්ති වාදීහු වැඩි වශයෙන් ග්‍රන්ථධූරදාරිනයෝ වූ හ. උන්වහන්සේලා ග්‍රාම වාසය ට පුරුදු වූ ධර්ම කථිකයෝ වූ හ. ඒ හැරත් ඔවුන් ත්‍රිපිටකය, හා අටුවා ආදිය කටපාඩම් කිරීමට නිතර වෙහෙසුන අය හැටියට ද, පිළිගත හැකි ය. උන්වහන්සේලා පර්යාප්තිය අගය කළා පමණක් නො ව, එ හි ආරක්ෂාව හා දියුණුව ගැන ද, අවධානය යොමු කළ හ. මේ නිසා ම බැමිණිටියාසාය පැවති වකවානුවේ දී, පර්යාප්තියේ අනාගතය ගැන භාරදූර ලෙස සිතන්න ට වූ හ. මේ අනුව ත්‍රිපිටකය කට පාඩමින් රැකගෙන ආ භික්ෂූන් නැති ව ගියහොත් බුද්ධ ශාසනය ට මහත් පාඩුවක් වන බව කල්පනා කළ පර්යාප්තිවාදී භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය පොත්වල ලියා තැබීම හොඳ යැ යි සම්මත කරන්න ට ඇත.
නිකාය භේදය
අභයගිරිය බිහිවීම ත් සමග ලංකාවේ මුල් බුදු සසුන තුළ නිකාය භේදයක් හට ගැනුණි. මහා විහාරය හා අභයගිරිය වාසී භික්ෂූන් වහන්සේලා දෙපක්ෂය අතර ධර්ම විනය පිළිබඳ විවිධ මතභේද හටගත් අන්දමත් එතෙක් පැවති ථෙරවාද බුද්ධ ධර්මය ට පටහැනි ඉගැන්වීම් ඉදිරිපත් වූ අන්දමත්, වංසකතා තොරතුරු වලින් හෙළිවේ.
ථෙරවාදය දිවි දෙවෙනි කොට සැලකූ මහා විහාරික භික්ෂූන් වහන්සෙලා මේ අළුත් අදහස් උදහස් ථෙරවාද බුද්ධ ධර්මය ට එල්ල වූ බලවත් තර්ජනයක් ලෙස සලකන්න ට ඇත. අනාගතයේ දී එ ම අදහස් ත්‍රිපිටක ධර්මය හා එක්වීම නිසා ථෙරවාද බුද්ධ ධර්මය අපිරිසිදු වීමෙන් වැලකීම පිණිස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කර තැබීමට මහා විහාරික භික්ෂූන් වහන්සේලා සිතුවා විය හැකි ය.
සංගීතිය පිළිබඳ වාර්තා
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීමේ සිද්ධිය පිළිබඳව වංශකතා හා වෙනත් සාහිත්‍යමය මූලාශ්‍රවල විවිධ ලෙසින් වාර්තා වෙයි. එ හෙයින් ම මෙය සිදුවූ වර්ෂය හෝ හේතුව හෝ පැවැත්වූ ආකාරය හෝ එතරම් ම පැහැදිලි නැත. මහාවංසයේ සඳහන් වන්නේ සුළු සටහනකි. “ත්‍රිපිටක ධර්මය ද එ හි අර්ථ කතාව ද, ප්‍රඥා ඇති පූර්වක භික්ෂූහු මුඛපාඨ වශයෙන් ගෙන ආවෝ ය. එ කල් හි වැසි වූ භික්ෂූහු සත්වයන් ගේ පරිහාණි දැක ධර්මයේ චිරස්ථිතිය පිණිස පොත් හි ලියූ හ” යනුවෙනි.
මීට වඩා විස්තරයක් සපයන නිකාය සංග්‍රහය සංගීතිය පිළිබඳ පුවත මෙ සේ වාර්තා කරයි “මේ මහා ස්තවීර පරම්පරායෙන්, මුඛපාළි වශයෙන් පැවත ආවා වූ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපදාධිපතියක්හු ගේ ආරක්ෂායෙන්, පන්සියයක් රහතන් වහන්සේ මාතුල නම් දනව්වෙ හි අළුලෙන වැඩහිඳ පොත් සංගායනා කොට ලියවූ සේක.” මේ පුවත පූජාවලියේ සඳහන් වන්නේ “බැමිණිටියාසාය ත් මොහු සාමයෙ හි ම විය. මොවුන් දවස පන්සියයක් රහතන් වහන්සේ අළුලෙන වැඩ හිඳ පොත් සංගායනා කළ සේක.” යනුවෙනි.
වංසකතා හා වෙනත් සාහිත්‍ය ලේඛනවල තොරතුරු අනුව අප ට නිගමනය කළහැකි වන්නේ වළගම්බා රජු දවස මාතලේ අළුවිහාරයේ දී එක්තරා ජනපදාධිපතියකු ගේ ආරක්ෂාව හා අනුග්‍රහය ඇති ව අටුවා සහිත ත්‍රිපිටකය පොත්වල ලියා තැබූ බව යි.
බැමිණිටියාසාය සමයේ දී ලංකාවේ නැවතී සිට ධර්මය රැකගත් මහ තෙරවරුන් කිහිපනමක් ගැන කලින් සඳහන් කර ඇත. සංයුක්තභානක චුලසීව, ඉසිදත්ත, මහාසේන යන තෙරවරුන්ද, ත්‍රිපිටකධාරී වත්තබ්බක නිග්‍රෝධ මහතෙරුන් වහන්සෙද, එවක සිටි විශාරද විද්වත්හු වෙති. උන්වහන්සේලා මෙම පුස්තාකරූඨ සංගීතියට සහභාගි වූ තෙරවරුන් හැටියට අප ට අනුමත කළ හැකි ය.
පුස්තකාරූඨ සංගීතියේ දී පුරෝගාමි වූයේ මහාවිහාර භික්ෂුන් වහන්සේ ය. මෙ ම ධර්ම සංගීතිය ථෙරවාදයේ ආරක්ෂිව සඳහා තමන් ට කළ හැකි විශේෂ කාර්යයක් හැටියට ද, උන්වහන්සේලා සිතුවා විය යුතු ය. එහෙත් මේ කාර්යය සඳහා මහා විහාරය තෝරා නො ගත් හ. මාතලේ අළුවිහාරය තෝරා ගන්න ට ඇත්තේ ඒ වනවිට මහා විහාරය ආරක්ෂා සහිත තැනක් නො වූ නිසා විය හැකි ය. මෙ ම ඓතිහාසික වූත් වැදගත් වූත් කාර්යයට රාජ අනුග්‍රහය අවශ්‍යයෙන් ම ලැබිය යුතු ව තිබුණි. එහෙත් එ වැනි අනුග්‍රහයක් ලැබුණු බවක් නො පෙනේ.
එයින් පෙනී යන්නේ වළගම්බා රජු ඊට සම්බන්ධ වීම ට එතරම් උනන්දුවක් නො දැක් වූ බව යි. ඒ හැරත් ඔහුගේ අනුග්‍රහය ලබා ගැනීම ට මහාවිහාරික තෙරවරුන් ද, බලාපොරොත්තු නො වන්නට ඇත. මේ සඳහා ආරක්ෂාව සැපයූ ශ්‍රේෂ්ඨ පුද්ගලයා එක්තරා ජනපදාධිපතියෙකු වශයෙන් මිස නමින් සඳහන් නො කර ඇත්තේ එය ඔහු ට හානි දායක වීම ට තරම් තත්ත්වයක් පැවති නිසා විය යුතු ය. එ සේ නැත්නම් ඔහු තම නම ප්‍රකට කිරීම ට අකමැති වූ කෙනෙකු වූ නිසාද විය හැකි ය. ඒ කෙ සේ වෙතත් මේ කරුණු අනුව පෙනී යන්නේ, පුස්ථකාරූඨ සංගීතිය සෑහෙන තරම් විරුද්ධතා හා දුෂ්කරතා මධ්‍යයේ කරන ලද කාර්යයක් වූ බව යි.
සංගීතියේ අගය
භාරතයෙන් පවා ත්‍රිපිටකයේ අටුවා සම්ප්‍රදාය නැති වී යද්දී ලංකාවේ එය ඉතිරි වූයේ මෙ ම සංගීතියේ ප්‍රතිඵලයක් වශයෙනි. බුද්ධඝෝෂ ආදී මහා පඬිවරුද අටුවා සාහිත්‍යය සොයා දඹදිව සිට මේ දිවයින ට වැඩමවූයේ ත් මෙ ම සංගීතියෙන් අටුවා සාහිත්‍යය සුරැකි ව පැවතුණු නිසා ය. ත්‍රිපිටකය රන්පත්වල ලියා අළුවිහාරයෙ හි ගලක නිදන් කරන ලදැ යි කියවෙන ජනප්‍රවාදයක් මෙ රට පවතී.
ද්‍රවිඩ උවදුරුවලට බියෙන් හෝ සාගතය නිසා ඇති වූ කම්පනයෙන් හෝ අන්‍ය නිකායිකයන් ගේ අදහස් වලින් ධර්මය ව්‍යාකූල වේ ය යන සැකයෙන් හෝ මහා විහාරික භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද පුස්තකාරූඨසංගීතිය සංගායනා ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධියකි. දුෂ්කරතා මධ්‍යයේ මෙතෙක් කට පාඩමින් රැකගෙන ආ ත්‍රිපිටකය හා අටුවා මෙයින් පසු ව ඉගෙනීම ට හා ඉගැන්වීම ට පහසු විය. පෙර ට වඩා බෞද්ධ උගතුන් සුලභ වීම ට ද, මෙය ප්‍රබල හේතුවකි විය. ථෙරවාද සම්ප්‍රදායයේ පමණක් නො ව පාළි සාහිත්‍යයේ ම අනාගත සුරක්ෂිත භාවය ට මෙ ම සංගීතිය මහත් අනුබලයක් විය.
උපුටා ගැනීම : ප්‍රාචීන විභාග අත්වැල ෆේස්බුක් පිටුවෙන් (https://www.facebook.com/prachina13)
කර්තෘ ස්වාමින් වහන්සේලා
කොටපොල චන්දිම හිමි
වීරහෙළ චන්දිම හිමි
ගලගම කරුණාකර හිමි
අමරගෙදර දේවානන්ද හිමි
තිස්සමහාරාමයේ සිරිවිමල හිමි
කිඹුල්පැටියාවේ ඉන්දසාර හිමි
කඩිහිංගල ධම්මරක්ඛිත හිමි
මහගල්වැව රාහුල හිමි
අලුත්වල ධම්මසති හිමි
කතරගම සුමනදේව හිමි
ගලගම රේවත හිමි
වැවගම රතනපාල හිමි
ලඳුපිට ධම්මාලෝක හිමි
මුලටියන විනීත හිමි
වැලිවිටියේ නාරද හිමි
බුත්තල ධම්මදස්සි හිමි
කලහගල ඉන්දරතන හිමි