භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 02

එකල විසල්පුර ආසන්නයේ කලන්දගාම නම් ගමෙහි කලන්ද සිටුවරයාගේ පුත් වූ සුදින්න නම් සිටු පුතෙක් වෙයි. හෙතෙම යහළුවන් පිරිවරා පැමිණ යන මඟෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැවිදි වීමට තීරණය කලහ.

කෙසේ වෙතත් තම සිටු කුලයෙන් අවසර නො ලැබුන හෙයින් ඒ වෙනුවෙන්ම නිරාහාරව සිට අවසානයේ තම දෙව්පියන්ගෙන් අවසර ගත්හ.

පැවිද්දට අවසර ලැබීමෙන් පසු නොබෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලැබින. අනතුරව ආයුෂ්මත් සුදින්න ධුතගුණයන් සමාදන්ව සිවුපස පමණක් දරමින් ගෙපිළිවෙළින් පිඩුසිඟමින් වැදෑගම ඇසුරැ කොට වාසය කරයි.
කෙසේ වෙතත් ඒ සමයෙහි වැදෑරට ද වේරඤ්ජා නුවර මෙන් මහා දුර්භික්ෂයකි. පාත්‍රය ගෙන ශික්ෂාවෙහි හැසිරෙමින් ජීවත් වන්නට පහසු නො වේ. අනතුරැව බොහෝ ධනධාන්‍ය ඇති මහත් භෝග සම්පත්තිය ඇති, තම ඥාතීන් හා නෑයන් ඇති, නෑයෝ මා නිසා දන්දෙති යැයි අපෙක්ෂාවෙන් විසල්පුරයට ආයුෂ්මත් සුදින්න පෙරළා පැමිණියහ.

විසල්පුරයෙහි පිඩු පිණිස හැසිරෙන බව සැළ වූ ආයුෂ්මත් සුදින්නගේ පියා පැමිණ ” සියගෙට යායුතු නොවේ ද ?, දරැව ඹබගේ ගෙට යමු ” යැයි පැවසූ කල ආයුෂ්මත් සුදින්න සිය පියාගේ නිවසට පැමිණියේය. එම රාත්‍රිය ඇවෑමෙන් පසුදින පෙරබත් කල ( උදේවරැව ) සිය පියාගේ නිවසට පැමිණ පනවා ඇති ආසනයෙහි හුන්නේය. එදින සිටු නිවසේ සැළසුම අනුව රන්රිදි මසු කහවණු හා වස්තූන් ගොඩගසා පුත් සුදින්නගේ පෙර අඹුවන්ද අලංකාරයෙන් සැරසී සිටියහ.

නැවත ගිහි වන ලෙස කොපමණ ඇවිටිලි කල ද එයට මනාප නොවූ සුදින්න භික්ෂුව මෑණියන්ගේ අවසාන අදහසට එකඟ විය. ” පුත් සුදින්න, කුලවංශය ආරක්ෂා කර ගැනීම සඳහා බීජයක් දෙව. අපට වෙන දරැවන් නොමැති හෙයින් මේ සියලු වස්තු සම්භාරය ලිච්චවි රාජ්‍යට නොගත යුතුයි. නො ගනිත්වා. ” යැයි කීය. ” මෑණියනි මෙය මට කරන්නට හැකියි. ” සුදින්න භික්ෂුව කී ක​ල ” පුත සුදින්න, මෙ කල කොහේ වෙසෙත් ද ? ” යැයි මව ඇසුවා ය. ” මෑණියනි, මා මහ වනයෙහි වෙසෙමි. ” යැයි පවසා ආසනයෙන් නැගිට පිටත් විය.

අනතුරැව සුදින්නගේ මව ආයුෂ්මත් සුදින්නගේ ගිහි කල අඹුව අමතා ” එසේ නම් ලේලිය, යම් දවසක ඍතුමතී ( ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට සුදුසු කාලය පැමිණි ස්ත්‍රිය, මල්වර වු ස්ත්‍රිය ) වේ ද, එ කල්හී මට දන්වනු ” යැයි කීහ. බොහෝ කලක් යන්නට මත්තෙන් ඇය ඍතුමතී වූවාය. මල්වර උපන්නේ. ඔසප් ලෙය උපන්නේ. මේ බව දැන ගත් සුදින්නගේ මව තම ලේලිව අලංකාරව සරසා මහ වනයෙහි සුදින්න භික්ෂුව වෙත එළඹියා ය. එසේ තම ලේලිය සමඟ එළඹ ” පුත සුදින්න, බීජයක් ( පුතෙක් ) දෙව. පුත්‍ර‍යෙක් ​නො වූ අපගේ ධනය ලිච්චවීහු හැර ගන්නේ ය. එහෙයින් පුතෙක් දෙව ”

” මෑණියනි, මෙය නම් මට කරන්නට හැක ” යැයි පවසා සුදින්න භික්ෂුව ගිහි කල තම අඹුවගේ අතින් අල්ලා ගෙන මහා වනයට ඇතුලු වී සික්ෂාපද නො පණවා ඇති කල්හි හා ආදීනවය නොදන්නා ඒ භික්ෂුව ගිහිකල තම අඹුවා සමඟ තෙවරක් ම මෙවුන්දම් සේවනයෙහි ( ලිංගික හැසිරීමෙහි ) යෙදීය. එයින් ඇය ගැබ් ගත්තී ය.

” පින්වත්නි, ඒකාන්තයෙන්ම මේ ශාසනයෙහි භික්ෂුසංඝයා නො කැලැල් ය. දෝෂ රහිතය. නමුත් සුදින්න භික්ෂුව විසින් අර්බුදයක් හා ආදීනවයක් උපදවන ලදැ ” යි බූමාට දෙවියන් උද්ඝෝෂණය කළහ. බූමාට දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියන්………..පරනිර්මිත වශවර්ති දෙවියන්……… බඹලොව වැසි දෙවියෝ ද පිළිවෙලින් උද්ඝෝෂණය කිරීමෙන් එම ඝෝෂාව බඹලොව තෙක් පැතිර ගියේ ය.

පසුකලෙක දශ මසක් ඇවෑමෙන් සුදින්න භික්ෂුවගේ ගිහි කල තම අඹු විසින් පුතෙක් බිහි කලේ ය. එකල සුදින්නගේ යහළුවන් ඒ දරැවාට බීජක යැයි නම් කළාහ. දරැවාගේ මව බීජකමාතෘ යැයි ​ද සුදින්න භික්ෂුව බීජකපිතෘ යැයි නම් කළහ. පසු කලෙක මේ මව හා පුත්‍රයන් දෙපළ ගිහිගෙයින් නික්ම පැවිදි වී රහත් බව ලැබුහ.

බොහෝ කලක් යන්නට මත්තෙන් සුදින්න භික්ෂුව හට ” මෙසේ මනා කොට දේශනා කරන ලද ධර්මවිනයෙහි පැවිදිව දිවි ඇතිතාක් පිරිසිදු වූ බඹසර හැසිරෙන්න නොහැකි වූයේ ද, ඒ මාහට ඒකාන්ත වශයෙන් අලාභයකි. නපුරක් ලැබිය, අයහපතට පත්විය, පසුතැවිමට පත්විය, හිතේ විපිළිසර ඇතිවිය. එම සැකයෙන් කය කෘශ වුයෙන් රළුව දුර්වර්ණ විය. නහර පිටතට ඉල්පී ගිය සිරැරක් විය. සැඟවී ගිය හැකුළුනු සිත් ඇතිව දුක් ඇතිව නො සතුටු සිතින් හිත වික්ෂිප්ත වූයෙන් සිතිවිලි සිතන්නට විය.

මේ බව සැළ වූ සුදින්න භික්ෂුවගේ යහළු භික්ෂූන් සුදින්න භික්ෂුව නන් අයුරින් ගර්හා කළාහ.

” ඇවැත් සුදින්න යම් හෙයකින් මෙසේ මනා කොට දේශනා කරන ලද ධර්මවිනයෙහි පැවිදිව දිවි ඇතිතාක් පිරිසිදු වූ බඹසර හැසිරෙන්න නොහැකි වූයේ ද ? තොපගේ සැකයට හා විපිළිසර බවට එය ප්‍රමාණවත් වේ. ඇවැත්නී, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ක්ලේශයන්ගෙන් වෙන් වීම පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නොවේ ද, කෙලෙසුන් හා නො යෙදීම පිණිස, තෘෂ්ණාවශයෙන් දැඩි කොට නො ගැනිම පිණිස, විරාගය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි රාගය හා පවත්නා මෙවුන්දම් සෙවීම පිණිස උත්සාහ කළහ. විසංයෝජනය පිණිස අනුපාදානය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි තොප විසින් සංයෝජනය පිණිස හා උපාදානය පිණිස උත්සාහ කරන ලදි.
ඇවැත්නී, භාග්‍යවතුන් වහන්සේ විසින් මදය දුරැ කිරිම පිණිස, කාම පිපාසාවන් දුරැ කිරීම පිණිස, පඤ්චකාමය මුලුමනින්ම සිඳීම පිණිස, සංසාරයේ මුල් සිඳීම පිණිස, තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස ධර්මය දේශනා කරන ලද්දේ නොවේ ද ?

ඇවැත්නී, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙන් ක්‍රමයෙන් වස්තුකාම ක්ලේශ කාමයන් ප්‍රහාණය පිණිස, සියලු කාමසංඥාවන්ගේ ත්‍රිවිධ පරිඥාවන් පිණිස, කාම විතර්කයන් නැසීම පිණිස, කාමපරිදාහයන්ගේ සන්සිඳීම පිණිස ධර්මය දේශනා කරන ලද්දේ නොවේ ද ?

ඇවැත්නි, ඔබගේ පාපකර්මය ශාසනය කෙරෙහි නො පැහැදුනු අයගේ පැහැදීම පිණිස නොවේ. පැහැදුනු අයගේ නැවත නැවත පැහැදීම පිණිස නොවේ. තවද ඇවැත්නි, ඔබගේ පාපකර්මය ශාසනය කෙරෙහි නො පැහැදුනු අයගේ නො පැහැදීම පිණිස ම වේ. පැහැදුනු සමහරැන්ගේ ( සෝවාන් මඟට නො පැමිණි ) හිතේ විපිළිසර ඇති කරවන්නකි.

ඉන්පසු නන් අයුරින් සුදින්න භික්ෂුව හට ගර්හා කොට භාග්‍යවතුන් වහන්සේට කරැණු සැළ කිරීමෙන් අනතුරැව භික්ෂුසංඝයා රැස් කරවා සුදින්න භික්ෂුවගෙන් මෙහි නිදානයෙහි කරැණු විචාරා භාග්‍යවතුන් වහන්සේ විසින් ගැරහු සේක.

” හිස් පුරැෂය, නුසුදුසු අනුලෝම නොවූ අයෝග්‍ය වූ ශ්‍රමණයන්ට අයත් නොවූ අකැප වූ නො කට යුත්තෙකි. කෙසේ නම්, හිස් පුරැෂය, තෝ මෙසේ මැනවින් දෙසූ ධර්මවිනයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු බඹසර හැසිරෙන්නට නො හැකි වූයේ ද ? ”

” හිස් පුරැෂය මා විසින් නොයෙක් අයුරින් විරාග පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද ? ……….. කාම විතර්කයන් නැසීම සඳහා , කාමපරිදාහයන්ගේ සන්සිඳීම සඳහා ධර්මය දේශනා කරන ලද්දේ නොවේ ද ? ”

” හිස් පුරැෂය, තාගේ ස්වකීය අංගජාතය ( පුරැෂලිංගය ) මාගමකගේ අංගජාතයෙහි ( ස්ත්‍රීලිංගය ) ඇතුලු කිරීමට වඩා, දළ අග දරැණු විෂ ඇති විසිකුරැ සර්පයෙක්ගේ මුඛයෙහි තොපගේ අංගජාතය ඇතුලු කරන්නේ නම් මැනවි. කළු නාගයෙකුගේ මුඛයෙහි තොපගේ අංගජාතය ඇතුලු කරන්නේ නම් මැනවි. හාත් පසින් ඇවිල ගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරැවලකට තොපගේ අංගජාතය ඇතුලු කරන්නේ නම් මැනවි. ඒ කවර හෙයින් ද යත් : හිස් පුරැෂය, එය හේතුකොට ගෙන මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුකොට ගෙන කය බිඳී මරණින් මතු සැපයෙන් පහ වූ නරක ගතියෙන් යුක්ත වූ ව්‍යාකූලව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. නමුත් හිස්පුරැෂයෙක් වු තොපගේ මේ ක්‍රියාවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වු පහතට හෙළනා නිරයට පැමිණෙන්නේ ය.

” හිස් පුරැෂය, ඒ මෙබඳු වූ සාවද්‍යකර්මයෙහි තෝ නීච ජනයාගේ ස්වභායක් වූ, ගම් වැසියන්ගේ ස්වභායක් වූ, ලාමක පුරැෂයන්ගේ ස්වභායක් වූ, රාගදි කෙලෙසනුගෙන් දුෂිත වු ජලයෙන් සෝදා අවසන් කොට ඇති, රහසේ කටයුතු වු, දෙදෙනෙක් විසින් සමවදින්නා වු මෛථුන ( ලිංගිකසංසර්ගයට ) ධර්මයට පැමිණියහ. හිස් පුරැෂය, තෝ බොහෝ දෙනා අතුරින් මේ ශාසයෙහි අකුශල ධර්මයට ආදිකතෘ වෙයි. ආරම්භකයා වෙයි. හිස් පුරැෂය, මෙය නො පැහැදුනු අයගේ පැහැදීම පිණිස නොවේ……… ”

ඉන් අනතුරැව භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් සුදින්නට නොයෙක් අයුරින් ගර්හා කොට දුක ද, සේ පෝෂණය වීමෙහි ද, මහත් ආශා ඇති බවේ ද, ලද දෙයින් සතුටු නොවීමෙහි ද, ඝන පිරිස් සමූහයා කෙරෙහි ඇලිමෙහි ද, කුසිත බවෙහි ද, අගුණ හා දොස් වදාරා නොයෙක් ක්‍රමයෙන් සුභර බවෙහි, සුව සේ පෝෂණය කල හැකි බවෙහි, ලද දෙයින් සතුටු වීමෙහි, කෙලෙස් සිඳීමෙහි, ප්‍රසාදය එළවන සංවරයාගේ ද, කෙලෙස් රැස් නො කිරීමෙහි, වීර්‍ය්‍ය ආරම්භ කිරීමෙහි ද ගුණ වදාරා භික්ෂූන්ගේ තැනට සුදුසු වූ එයට අනුලෝම වූ දැහැමි කථාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.

” මහණෙනි, එසේ වී නම් සංඝයාගේ හිත සුව පිණිස, සංඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්ෂුවහ​ට පහසුවෙන් වාසය කිරීම පිණිස, මෙලොවදී පැමිණිය හැකි දුක් දුරැ කිරීම පිණිස, පරලොවදී පැමිණෙන දුක් නැසීම පිණිස, නො පැහැදුනු වුවන්ගේ පැහැදීම පිණිස, පැහැදුනු වුවන්ගේ පැහැදීම වැඩිවීම පිණිස, සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස, විනයට අනුග්‍රහය පිණිස, යන මේ දශ හිතේ විශේෂයට පමුණු වන ආපත්ති නොවීම පිණිස භික්ෂූන්ට සික්ෂාපද පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය මෙනෙහි කරව :

” යම් මහණෙක් මෙවුන්දම් සොයන්නේ නම්, හෙතෙම පාරාජික ආපත්තියට පත් වූයෙන් සිල්වත් භික්ෂූන් සමඟ එකට විසීමට නුසුදුසු යැයි බැහැර කරන ලද්දේ වෙයි. එකට සංඝ කර්ම කිරීම් ආදියෙන් බැහැර වේ.”

භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මෙසේ මේ ශික්ෂාපදය පණවන ලද්දේ වෙයි.

සුදින්න බණවර නිමි වේ.

මතු සම්බන්ධයි.
පාරාජික පාළිය – ප්‍රථමපාරාජිකකාණ්ඩය

~ හේන්පිට ධම්මබෝධි ස්වාමින්වහන්සේ විසින් සම්පාදිතයි.

Sidebar