සුගත සම්බුදු ගුනය
෴. සො භගවා ඉතිපි සුගතො .෴
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“සුගතත්ථා සුගත්තත්ථා – සෝභනා යස්ස වා ගතී
ගතත්තා සුන්දරං ඨානං – සුගතෝ නාම තේ
? ෴….?️….෴? ?️ අසූවක් අනු ව්‍යඤ්ජනයන්ගෙන් හා දෙතිසක් මහා පුරිස ලකුණින් විසිතුරු වූ ආරෝහ පරිණාහ සම්පන්න වූ කිසිවෙක්ට නොමැති අසමාන වූ දුටු හැම සිත නිවන සුන්දර රූපශ්‍රීයකින් බබලන්නාවූ නිසාද…..
?️සුන්දර ගමන් ඇති නිසාද…
?️(හැම සතටම වඩා)අති පරම සුන්දරම උපතක් ඇති නිසාද….
?️දේසනාකරන්නාවූ ධර්ම මාර්ගයද එහි මුල මැඳ අගද අත්‍යන්තයෙන්ම සුන්දර වූ නිසාද….
මාගේ භාග්‍යවතුන් වහන්සේ සුගත නම්වන සේක.ඒ භග්‍යවත්වූ සම්මා සම්බුදු සුගතයාණන් වහන්සේට මාඟේ නමස් කාරයද. ජීවතයද පූජාකරමී පූජාම වේවා .
…෴?️????️෴…
??️??️?
.
?️ අර්ථ –
මාගේ ලොව්තුරු සුගත තථාගතයන් වහන්සේගේ සුගත කියන ගුණය කෙටියෙන් විස්තර කරනවා නම්, දත යුතුයි
සුගත කියලා කියන්නේ සු -ගත- යහපත් ගමන් විලාස, සුන්දර ගමන් විලාස ඇති නිසයි.
‘සුගතත්තා’ දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වාම වෙනස් නොවන, මධ්‍යම ප්‍රතිපදාවෙන් ම ගමන් ගත් නිසා සුගත කියනවා. උන්වහන්සේට එදා දීපංකර පාද මූලයේ දි නියත විවරණ ලැබුණා. එදා ඉඳලා අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට මධ්‍යම ප්‍රතිපදාවෙන්මයි ගමන් ගත්තේ. ඒ නිසා අපි කියනවා ‘සුගත’ කියලා. ඊළඟට ‘සුගතත්තා’ යහපත් වචන කතාකළ බැවින්. උන්වහන්සේ හැමවෙලේ ම අර්ථ සම්පන්න, ව්‍යඤ්ජන සම්පන්න. සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්ම චරියාවයි කතා කළේ. උන්වහන්සේ කතා කළ ධර්මය ‘ස්වාක්ඛාත’ යි. උන්වහන්සේ කතා කළ ධර්මය සන්දිට්ඨිකයි. අකාලිකයි. ඒහිපස්සිකයි’. ඕපනයිකයි, පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති. ඒ කියන්නේ උන්වහන්සේ ගේ ධර්මය ආදි කල්‍යාණයි. මජ්ඣය කල්‍යාණයි. පරියෝසාන කල්‍යාණයි. උන්වහන්සේගේ ධර්මයේ මුල යහපත්. මැද යහපත්. අග යහපත්. උන්වහන්සේගේ ධර්මයේ කිසිතැනක අවුල් නැහැ. වියවුල් නැහැ. උන්වහන්සේ මේ මේ දේ කිව්වා. කිව්වේ නැහැ කියා කිසිම කෙනෙකුට කියන්න දෙයක් ඉතුරු කළෙත් නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ තුළ යහපත් වචන, ඒ විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේ දන්නවා නම් මේක බොරුවක් කියා උන්වහන්සේ කවදාවත් කියන්නේ නැහැ. අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ දේ කියන්නේ නැහැ. සත්‍ය නම් කෙනෙකුට අර්ථයක් සිද්ධ වෙනවා නම් පමණයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ තමයි සුගත යන්නෙහි තේරුම. ඊළඟට සෝභන ගමන් විලාස ඇති බැවින්. බෙහෝම ලස්සන ගමන් විලාස ඇති බැවින් උන්වහන්සේ ළඟ ‘නාගාපලෝකනය’ තිබෙනවා. නාගාප ලෝකනය මොකක්ද? ඇතෙකුට පිටුපස හැරිල බලන්න ඕන නම් ඇතා මුළු ඇඟම හරවන්නට ඕනෙ නේද? බුදුපියාණන් වහන්සේ ළඟත් තියෙන්නේ නාගාපලෝකනයයි.
උන්වහන්සේට පිටු පස සිටින කෙනෙක් බලන්න ඕන නම්, අපි වගේ බෙල්ල හරවා බලන්නේ නැහැ. මුළු ශරීරයම හරවා බලන්නේ. ඒ වගේම උන්වහන්සේ වඩින කොට පාරේ දූවිලි, ගල්කැට ,බොරළු සියල්ල ඉවත් වෙනවා. උන්වහන්සේගේ ශ්‍රී පතුල් හරියට ලෑල්ලක් බිම තියන්නා සේ සමතලා පොළවේ සමව පිහිටනවා. උන්වහන්සේ වඩින වෙලාවේ මේ අපි යන්නා වාගේ ශබ්ද නැගෙන්නේ නැහැ. තව කෙනෙකුට හිංසාවක්, පීඩාවක් වෙන්නේ නැහැ. ලොවක් සනසමින් තමයි උන්වහන්සේ වඩින්නේ. ඉතින් උන්වහන්සේ ගේ මේ ගමන් විලාසය බොහොම සුන්දරයි. ඒ වාගේම පි‍්‍රයමනාපයි. තථාගතයන් වහන්සේ ගේ මේ ගමන් විලාසය දකින දෙවියන් සාධු කාර දෙනවා. බ්‍රහ්මයන් සාධු කාර දෙනවා. තිරිසන් ගත සත්වයන් සාධුකාර දෙනවා. ඒ වාගේම නොයෙක් මිථ්‍යා දෘෂ්ඨිකයන් පවා සම්මා දිට්ඨික වෙනවා. ඒ වාගේම සම්මා දිට්ඨික ඇත්තන්ගේ සම්මා දිට්ඨිය තව තවත් බල සම්පන්න වෙනවා. අපැහැදුණු අය පැහැදෙනවා. පැහැදුණු අය තව තවත් පැහැදෙනවා. බුදුපියාණන් වහන්සේට, සුන්දර ගමන් විලාසයක්, සෝභන ගමන් විලාසයක්, පැවති නිසා අප කියනවා සුගත කියා. ඊළඟට සුන්දර නිවනට වැඩි නිසා .උන්වහන්සේ නිවනට වැඩම කළේ එක ආත්මයක් නෙමෙයි. අනන්ත අප්‍රමාණ අනාදීමත් කාලයක් සසර දුක් විඳලයි නිවනට වැඩම කළේ. සියලුම දුක් ගැහැට, සියලුම දේ පසෙකට දාලා උන්වහන්සේ සියලු දේ ඉවසා දරාගෙන යි නිවනට වැඩම කළේ. බලන්ට , තථාගතයන් වහන්සේගේ ගමන් විලාසය ගැන කියද්දි මතක් වෙනවා. තුන් බෑ ජටිලයන් රහත් කරලා ඒ පිරිවර දහසක් අරගෙන බුදුපියාණන් වහන්සේ වඩිනවා රජගහ නුවරට. බිම්බිසාර රජ්ජුරුවන්ගේ ආරාමයට ආරාධනාව ඉටුකරන්න යනකොට මේ විලාසය දකිනවා සක්දෙව් රජ්ජුරුවෝ එතුමා තරුණ මානවකයෙකුගේ වේශයක් අරගෙන ලස්සන පී‍්‍රති වාක්‍ය පවසනවා.
සු + ගත (ගමනාර්ථය)සු + ගත (වචනාර්ථය)කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය යන අන්තයන්ට නොවැටී මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මඟහි ගමන් කළ හෙයින් සුගත නම් වේ. පළමු අර්ථ විවරණය අනුව මනා වූ සහ නිවැරැදි වූ ගමන් ඇති හෙයින් සුගත නම් වේ.දෙවැන්න සුහද හෙවත් සුගත යන්නයි. ලොවට වැඩ ඇති නිධානයක් බඳු වචනම (නිධාන වතිං වාචං) නිරන්තරයෙන් වදාළ හෙයින්ද, ප්‍රිය මනාප වචන ව්‍යවහාර කළ හෙයින් ද, සත්‍ය එලෙසම මිස වෙනත් අයුරකින් නොවන හෙයින්ද, කිසිවකුටත් දෙසු දහම් වෙනස් කළ නොහැකි හෙයින්ද, වචනයයෙන් පවසන දේම ක්‍රියාවටද නඟන හා ක්‍රියාවට නඟන දේ පමණක් වචනයෙන් පවසන හෙයින් සුගත නම් වේ.
බොහෝ ජනයා මෙන්, අන්‍ය ශාස්තෲවරයන් මෙන් නො මඟ නොගොස් යහපත් මඟ ගිය හෙයින් ද, එමඟින් නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දර ස්ථානයට පැමිණ වදාළ හෙයින් ද, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.
ලෝකයෙහි ඇතමෙක් කාමයන්ගේ ආදීනවයන් සලකා ගත නොහී පඤ්චකාමය ම ලොව ඇති උසස් දෙය වශයෙන් වරදවා ගෙන, මනුෂ්‍යයාට කරන්නට ඇති උසස් දෙය හැකි පමණ පස්කම් සැප විඳීම යයි වරදවා ගෙන කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත අමාර්ගයෙහි ගමන් කොට අපායට පැමිණෙන්නාහ.
ඇතැමෙක් සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ පෙර කළ කර්මවල විපාක වශයෙන්ම යයි වරඳවා ගෙන තපසින් පුරාණ කර්ම ගෙවා අභිනව කර්ම නොකර හැරීමෙන් කර්මයන් ක්ෂය කොට දුකින් මිදිය හැකිය, දුක් කෙළවර කළ හැකිය යි ද, ඇතැමෙක් සැපයෙන් සැපය නො ලැබිය හැකිය. සැපය ලැබිය යුත්තේ දුකින් ම ය යි වරදවා ගෙන දැඩි තපස්කම් වලට බැස වස්ත්‍ර වර්ජන, ආහාර වර්ජන, වාසස්ථාන වර්ජන කරමින් කයට දැඩි දුක් දෙති. ගෝව්‍රත කුක්කූරව්‍රතාදි ව්‍රතයන් පිරීමෙන් ද කයට දැඩි දුක් දෙති. ඔවුහු ආත්මක්ලමථානුයෝග නම් වූ අමාර්ගයෙහි යන්නෝය. ඔවුහු ඒ අමාර්ගයේ ගමන් ගෙන දුකින් දුකටම පත් වන්නාහ. තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝග. අත්තක්ලමථානුයෝග යන දෙමඟ ම නො ගෙන මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත මාර්ගයෙහි ගමන් කරන බැවින් සුගත නම් වන සේක.
ලෝකයෙහි ඇතැමෙක් පින් පව් කරමින් සුවදූක් විඳිමින් ජාතියෙන් ජාතියට යන, නොනැසෙන ආත්මයක් ඇතය යි ශාශ්වත දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කරති. ඇතැමෙක් සත්ත්ව ශරිරයෙහි මරණින් ඔබ තවත් තැනකට යන කිසිවක් නැත. ගස් වැල් මැරෙන්නාක් මෙන් සත්ත්වයෝ ද මැරෙන්නාහ. මළ සත්ත්වයා නැවත උපතක් නො ලබන්නේ ය යි උච්ජේද දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කොට අපාගත වෙති.
තථාගතයන් වහන්සේ පරම ගම්භීර ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මය අවබෝධ කර ශාශ්වතෝච්ජේද දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ගද්වය හැර මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත සුමාර්ගයේ ගමන් කළ සේක. ඒ මගින් නිවනට පැමිණ වදාළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.
බුදුන් කල විසු පූරණකස්සප නමැති ශාස්තෲවරයා “මැරීම් – සොරකම් – බොරුකීම් ආදි නපුරුකම් කොපමණ කළත් ඒවායින් වන පවක් නැත. දීම් – සිල් රැකීම් ආදියෙන් වන පිනකුත් නැතය” යන දෘෂ්ටිය ගෙන නොමග ගියේය.
මක්ඛලීගෝසාල නම් ශාස්තෲවරයා “සත්ත්වයන්ගේ සංක්ලේශයට හේතුවක් ද නැත, විශුද්ධියට හේතුවක් ද නැත, පින් කරන්නෝ ය, පව් කරන්නෝ ය, පණ්ඩිතයෝ ය, බාලයෝ ය යන සෑම දෙනාම සංසාර ස්වභාවය අනුව ඒ ඒ ජාතිවල ඉපද සුවදුක් විඳ දුක් කෙළවර කරන්නාහ, ප්‍රතිපත්තියකින් එය වෙනස් නොවන්නේ ය’ යන දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.
අජිත කේසකම්බල නමැති ශාස්තෲවරයා ‘සූකෘත දුෂ්කෘත කර්මවලින් වන විපාකයක් නැත, මේ සත්ත්වයා සතර මහා භූතයන්ගෙන් සැදුණේය. මළ පසු ඔහුගේ ශරීරයේ පෘථිවිධාතුව පෘථිවිධාතුවටම එකතු වන්නේ ය, අපෝධාතුව අපෝධාතුවටම එකතු වන්නේ ය, තේජෝධාතුව තේජෝධාතුවට ම එකතු වන්නේ ය, වායෝ ධාතුව වායෝ ධාතුවට ම එකතු වන්නේ ය, ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ, දානය මෝඩයන්ගේ වැඩකි. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සැම දෙනාම මරණින් කෙළවර වන්නාහ, නැවත උපදින්නෙක් නැත’ යන උච්ජේද දෘෂ්ටිය ගෙන නොමඟ ගියේය.
පකුධකච්චායන නම් ශාස්තෲවරයා ‘පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛය, දුක්ඛය, ජීවය කියා සප්තකාය කෙනෙක් ඇත්තාහ. ඔවුහු ස්ථීරයහ, ඔවුහු කිසිවකු විසින් මවන ලද්දාහු නොවෙති, කිසිවකු විසින් මැවිය හැක්කෝ ද නොවෙති, ඔවුහු ඔවුනොවුන්ට හිංසා කරන්නෝද නොවෙති, එකෙක් අනිකෙකුට සැපදුක් ඇති කිරීමට නො සමත්ය. මරන්නෙක් හෝ මරවන්නෙක් නැත, තියුණු කඩුවකින් හිස සිඳින කල්හි සප්තකායයන් අතරට කඩුව යනු මිස, මරන එකෙක් හෝ මැරෙන එකෙක් නැත, යන මිථ්‍යාදෘෂ්ටිය ගෙන නොමඟ ගියේය.
නිගණ්ඨනාතපුත්ත නම් ශාස්තෲවරයා ‘චාතුයාමසංවරයක පිහිටිය යුතුය’ යන දෘෂ්ටිය ගෙන සිසිල් දිය ද සත්ත්වයෙකැයි සලකමින් සිසිල් දින පීමෙන් වැළකිම් ආදියෙන් නො මඟ ගියේය.
සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත නම් ශාස්තෲවරයා ‘පරලොවක් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත, නැවත උපදනා සත්ත්වයන් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත’ යනාදි අමරාවික්ෂේප දෘෂ්ටිය ගෙන නො මඟ ගියේය.
බොහෝ ශාස්තෲවරයන් තමන් ද නොමඟ යෙමින් සෙස්සන් ද නොමඟ යැවූ අතර සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ද සුමඟ යෙමින් අපමණ දෙවි මිනිසුන් ද ඒ සුන්දර මාර්ගයෙන් අමෘතමහා නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දරස්ථානයට යැවූ සේක.
කාමසුඛල්ලිකානූයෝග අත්තකිලමතානු යෝග යන ලාමක අන්ත දෙකට නො බැස, ශාශ්වතෝච්ජේද දෘෂ්ටි දෙකට නො බැස, තථාගතයන් වහන්සේ විසින් ගන්නා ලද සුන්දර මාර්ගය ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය ය. එය මධ්‍යමප්‍රතිපදා නම් වේ. එය ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත.
“කතමා ච සා භික්ඛවේ මඡ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති? අයමෙ ව අරියො අට්ඨාංගිකො මග්ගො. සෙය්‍යථීදං? සම්මා දිට්ඨි සම්මා සංකප්පො, සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි. අයං ඛො සා භික්ඛවෙ මඡ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති,”
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥාචක්ෂුස ඇති කරන්නා වූ නුවණ ඇති කරන්නා වූ කෙළෙස් සන්සිඳවීම පිණිස චතුස්සත්‍යාවබෝධය පිණිස නිර්වාණය පිණිස පවත්නා වූ ඒ මාධ්‍යමප්‍රතිපදාව කෙසේද යත්? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේ ද? සම්මා දිටිඨීය, සම්මා සංකප්පය, සම්මා වාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය යන මේ අංගයෝ ය. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥාචක්ෂුස ඇති කරන නුවණ ඇති කරන කෙලෙස් සන්සිඳවීම පිණිස චතුස්සත්‍යාවබෝධය පිණිස නිර්වාණය පිණිස පවත්නා වූ මධ්‍යමප්‍රතිපදාව මේය” යනු එහි තේරුම ය.
අප විසින් සම්පාදිත දහම් පොත් වල හා තවත් බොහෝ පොත් වල ද මේ ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්ගය විස්තර කර ඇති බැවින් එය මෙහි විස්තර නො කරනු ලැබේ.
සුගත යන ගුණපදයේ අර්ථය අටුවාවල දක්වා නැති අන් ක්‍රමයකින් ද ආචාර්යයන් විසින් වර්ණනා කර තිබේ. තථාගතයන් වහන්සේගේ විශේෂත්වය දැක්වීමට එය ඉතා හොඳ ක්‍රමයක් වන බැවින් එද මෙහි දක්වනු ලැබේ.
ගති යනු ඒ ඒ ජාතිවලට අයත් සත්ත්වයන්ට නමෙකි. නිරයගති – තිරච්ඡානගති – පේතගති – මනුස්සගති – දේවගති යන තැන්වල ගති යන වචනයෙන් කියැවෙන්නේ ඒ ඒ ජාතිවලට අයත් සත්වයන්ය. සුන්දර පුද්ගලයා සුන්දර සත්ත්වයා සුගති නමි. සුගති යන වචනයෙහි අන්තිම ඉකාරය අකාර කළ කල්හි සුගත කියා වේ. සුගත යන්නේන් කියවෙන්නේ ද යහපත් පුද්ගලයාම ය. ප්‍රතිසන්ධියේ පටන් පරිනිර්වාණය දක්වා ජිවිතකාලය අනේකාශ්චර්‍ය්‍යයෙන් යුක්ත වන බැවින් බුදුරදුන්ට ඇත්තේ පරම සුන්දර ජිවිතයෙකි. අනේකාශ්චර්‍ය්‍යයන් ඇති පරමසුන්දර ජීවිතයක් පරමසුන්දර ආත්මභාවයක් ඇති බැවින් ලොවුතුරා බුදුවරු සුගත නම් වෙති. ලොව්තුරා බුදුවරයන් පිළිබඳ ආශ්චර්‍ය්‍ය කරුණු බොහෝ ය. ඉන් සමහරක් මෙ සේ ය.
මවුකුස පිළිසිඳගන්නා බොහෝ සත්ත්වයෝ තමන්ට වන්නේ කුමක් ද කියා නො දැන නො සිහියෙන් මවුකුසට පිවිසෙති. තුෂිත දිව්‍යලෝකයේ ඉපද සිට ඉන් ච්‍යුත ව බුදුවීම සඳහා මිනිස් ලොව මවුකුස පිළීසිඳ ගන්නා මහාබෝධිසත්ත්වයයෝ තමන්ගේ මවුකුස පිළීසිඳ ගැනීම ගැන දැනීම ඇති ව සිහියෙන් මවුකුසට පිවිසෙති. මේ එක් ආශ්චර්‍ය්‍ය කරුණකි.
මවුකුසට පැමිණ එහි වෙසෙන බොහෝ සත්ත්වයෝ තමන් සිටින්නේ කොහිද තමන්ට වී තිබෙන්නේ කුමක් ද කියා නො දැන මවු කුස වෙසෙති. මහාබෝධිසත්වයෝ වනාහි තමන් මව්කුස වෙසෙන බව දැන සිහිනුවණින් එහි වෙසෙති. මේ එක් ආශ්චර්‍ය්‍ය කරුණෙකි.
මහබෝධිසත්ත්ව කෙනෙකුන් මවුකුස පිළිසිඳ ගත් කල්හි කිසිවෙකුගේ මෙහෙයීමක් නො මැතිව සිය කැමැත්තෙන් ම දිව්‍යපුත්‍රයෝ සතර දෙනෙක් පැමිණ සතර දිග සිට බෝධිසත්ත්වයන් හා මාතාවන් ආරක්ෂා කරති. එද එක් ආශ්චර්‍ය්‍ය කරුණෙකි.
කුස හොත් මහබෝසත් දරුවකු ඇති මෑණියන්ට අනේක පුද පඬුරු ලැබෙන්නට වන්නේ ය. බෝධිසත්ත්වයන් කුස පිළිසිඳ ගත් තැන සිට බෝධිසත්ත්ව මාතාවන්ට පුරුෂයන් පිළිබඳ කාමසංඥා ඇති නො වේ. එසේ ම කිසි ම පුරුෂයකුට රාග සිතින් බෝධිසත්ත්ව මාතාවන්ට ළං විය හැක්කේ ද නො වේ. කුසහොත් දරුවන් ඇති මවුවරුන් නොයෙක් රෝගාබාධ ඇති වන නමුත් බෝධිසත්ත්ව මාතාවන්ට නොයෙක් රෝගාබාධ ඇති වන නමුත් බෝධිසත්ත්වයනව මාතාවන් කිසි රෝගයක් ඇති නො වේ.
බෝසත් මවුන්ට කුස හොත් බෝසත් දරුවා පිරිසිදු වීදුරු කරඬුවක ඇති දෙයක් පිටතට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනේ.
මවුකුසයෙන් බිහි වන සෙස්සෝ කර්මජවාතයෙන් හිස යටිකුරු කොට පෙරළා යෝනිමුඛය කරා යවනු ලැබ එහි හිරවෙමින් තමන්ට සිදුවන්නේ කුමක් ද කියා දැනීමකුදු නැති ව ඉතා දුකසේ නො සිහියෙන් බිහි වෙති. මහාබෝධිසත්වයන් වනාහි ධර්‍මකථීකයකු ධර්මාසනයකින් බසින්නාක් මෙන් කිසිදු අවහිරයක් නො මැතිව මව් කුසයෙන් බිහි වෙමිය යන දැනීම ඇතිව සිහිනුවණීන් යුක්ත ව සිට ගෙන ඉන්නා මෑණියන්ගේ කුසයෙන් බිහි වෙති.
සෙස්සෝ ඇඟපුරා තැවරුණු අපවිත්‍ර ද්‍රව්‍යයන් ඇති ව ඉතා අපිරිසිදු ව නාවා පිරිසිදු කර ගත යුතු තත්ත්වයෙන් මවුකුසින් බිහි වෙති. බෝධිසත්තවයෝ වනාහි කිසිදු අපවිත්‍ර දෙයක් නො තැවරුණු යටත් පිරිසෙයින් තෙත් ගතියකුදු නැති සළුවක ඔතා තිබී පිටතට ගත් මාණික්‍යය රත්නයක් සේ සුපරිසුද්ධ ශරීරයෙන් මවුකුසින් බිහි වෙති. එහෙත් සිහිල් වූ ද උණු වූ ද ජලධාරා දෙකක් අහසින් ගලා එන්නේ ය.
මෑණියන් සිට ගෙන සියටියදී බිහි වන බෝසතුන් පොළොවට පැමිණිමට කලින් දිව්‍යපුත්‍රයෝ සතර දෙනෙක් පිළිගනිති. මනුෂ්‍යයන් අතට බෝසත් කුමරුන් පැමිණෙන්නේ ඉන් පසුව ය.
මවුකුසින් බිහි වූ දරුවන්ට නැගිට සිටිය හැකි වන්නේ ගමන් කළ හැකි වන්නේ කලක් ගත වීමෙනි. මහබෝසත්හු උපන් සැටියේ ම ඒ සියල්ල කිරිමට සමත් වෙති. “දේවියනි, සතුටු වන්න. ඔබට මහේශාක්‍ය දරුවෙක් උපන්නේ ය” යි කියමින් දෙවියෝ බෝසත් දරුවන් මෑණීයන් ඉදිරියේ තබති. එකෙණෙහි බෝසත් දරුවෝ පිය බිම තබා සිට සතර දිග බලති. දහස් ගණන් සක්වළවල් එක මිදුලක් මෙන් වී බෝසත්නට පෙනේ. බෝසත්හු කිසි තැනක තමන්ට උසස් කෙනෙකුතබා තමන් හා සම කෙනෙකුදු නො දැක දෙවියන් විසින් අල්ලන සේසත යටින් බිම පා තබමින් උතුරු දිග බලා සත් පියවරක් ගමන් කොට සත් වන පියෙහි සිට –
“අග්ගො හමස්මි ලොකස්ස
ජෙට්ඨො හමස්මි ලොකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස
අයමන්තිමාජාති, නත්ථීදානි පුනබ්භවො’යි
“මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ජාතිය ය, මට නැවත ඉපදීමක් නැතය’ යි අභීත ප්‍රකාශනයක් කරන්නාහ.
මහ බෝධිසත්ත්වයන් මවුකුස පිළිසිඳ ගැනීම ය, මවුකුසින් බිහිවීම ය, පස්මරුන් පරදවා ලොව්තුරා බුදුබව ලැබිම ය, දම්සක් පැවැත්වීම ය යන මේ සතර කරුණෙහිදි ම අනේක ප්‍රාතිහාර්යයන් අනේකාශ්චර්‍ය්‍යයන් පහළ වන බව බොහෝ බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ ය.
බෝසත් කෙනෙකුන් මවුකුසින් බිහි වන කල්හි දේව බ්‍රහ්මයන්ගේ ආලෝකය යට කරන, චන්ද්‍රසූර්‍ය්‍යාලෝකයන් යට කරන, ලොව සැම තැන ම පැතිර යන, චන්ද්‍රසුර්‍ය්‍යාලෝකයන් නො පැමිණෙන තැන් ද ආලෝකවත් කරන මහත් ආලෝකයක් පහළ වේ. කිසි කලෙක එළියක් නො ලබන ලෝකෝත්තරික නරකය ද එවිට ආලෝකවත් වන්නේ ය. දසදහසක් සක්වළ පොළොව කම්පා වන්නේ ය. දසදහසක් සක්වළවල දිව්‍යබ්‍රහ්මයෝ බෝසතුන් උපන් සක්වළට රැස්වන්නාහ. කෙනෙකුගේ වාදනය කීරිමක් නැති ව බෙරවලින් වීනාවලින් මිහිරි හඬ නැගෙන්නේ ය. ගැටිමක් නැතිව ම මිනිසුන්ගේ අබරණවලින් හඬ නැගෙන්නේ ය. බන්ධනගත මිනිසුන්ගේ සියලූ බන්ධන සිඳී යන්නේ ය. සියලූ රෝගයෝ සුව වෙති. ජාත්‍යන්ධයන්ට පෙනෙන්නේ ය. බිහිරන්ට ඇසෙන්නට වන්නේ ය. පිළුන්ට ගමන් කළ හැකි වන්නේ ය. උත්පත්තියෙන් මුළාව සිටින්නෝ සිහිය ලබන්නාහ. විදේශයන්ට පැමිණ තුබු නැව් තමන් තමන්ගේ තැන්වලට පැමිණෙන්නේ ය. රත්න සියල්ල බබලන්නට වන්නේ වෛරිහු මෙත් සිත් ලබන්නාහ. නරකයන්හි ගිනි නිවෙන්නේ ය. ගංගා වල ජලය ගාලා නො ගොස් නිශ්චල වන්නේ ය. සාගර ජලය මිහිරි වන්නේ ය. වාතය නිශ්චලව සිට ගන්නේ ය. ආකාශ පර්වතවෘක්ෂගත පක්ෂිහු බිමට බසින්නාහ. සඳ විශේෂයෙන් බබලන්නේ ය. හිර ද සෞම්‍ය වන්නේ ය. දෙවියෝ තමන් තමන්ගේ විමන්වල වෙසෙමින් ක්‍රීඩා කරන්නාහ. දිවයින් සතරටම වැටෙන මහා වැස්සක් ඇති වන්නේ ය. මහජනයාට සාගින්න හා පිපාසාව ඇති නො වන්නේ ය. දොරකවුළු ඉබේ ම විවෘත වන්නේ ය. මල් පල හටගන්නා ගස් වැල් මල් පල වලින් බර වන්නේ ය. සද දහසක් කොඩි වැල් වලින් සැරසී සිටින්නේ ය. මෙසේ අනේක ප්‍රාතිහාර්‍ය්‍යයෙන් යුක්ත වන ආත්මභාවයක් ඇති බැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.
තවද දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ව්‍යාමප්‍රභාවෙන් කේතුමාලාවෙන් යුක්ත ව අකලංක චන්ද්‍රමණ්ඩලයක් සේ සන්ධ්‍යා සූර්‍ය්‍යමණ්ඩලයක් සේ පහන් ගසක් සේ මලින් වැසුණු ගසක් සේ ශ්‍රෝභන වූ ස්වර්ණවර්ණ දේහය ඇති බැවින් ද තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.
අනේක ප්‍රාතිහාර්‍ය්‍යයෙන් යුක්ත වන සුන්දර ගමන් ඇති බැවින් ද තථාගතයන් වහන්සේ සුගත නම් වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුර ශාක්‍යයන්ගේ සන්ථාගාරයට වැඩම කළ ආකාරය මධ්‍යමනිකායේ මධ්‍යමණ්ණාසකයේ ශෛක්ෂසූත්‍ර අටුවාවෙහි මෙසේ වර්ණනා කර තිබේ.
1. එවං සබ්බංග සම්පන්නො – කම්පයන්තො වසුන්ධරං
අහෙඨයන්තො පාණානි – යාති ලොකෙ විනායකො,
–
2. දක්ඛිණං පඨමං පාදං – උද්ධරන්තො නරාසභො
ගච්ඡන්තො සිරිසම්පන්නො – සොභතෙ ද්විපදුත්තමො
–
3. ගච්ඡතො බුද්ධසෙට්ඨස්ස – හෙට්ඨා පාදතලං මුදු,
සමං සම්ඵුසතෙ භූමිං – රජසා නූපලිම්පති.
–
4. නිත්තං ඨානං උන්නමති – ගච්ඡන්තෙ ලොකනායකෙ,
උන්නතඤ්ච සමං හොති – පඨවී ච අචේතනා.
–
5. පාසාණා සක්ඛරා චෙව – කඨලා ඛාණු කණ්ඨකා,
සබ්බේ මග්ගා විවජ්ජෙන්ති – ගච්ඡන්තෙ ලොකනායකෙ
–
6. නාතිදූරෙ උද්ධරති – නාච්චාසන්නෙ ච නික්ඛිපං
අඝට්ටයන්තො නීය්‍යාති – උභො ජාණු ච ගොප්ඵකෙ.
–
7. නාති සිඝං පක්කමති – සම්පන්න චරණො මුනි,
න චාති සනිකං යාති – ගච්ඡමානො සමාහිතො
–
8. උද්ධං අධො ච තිරියං ච – දිසං ච විදිසං තථා,
න පෙක්ඛමානො සො යාති – යුගමත්තං ච පෙක්ඛති
–
9. නාගවික්කන්තචාරො සො – ගමනෙ සොභතෙ ජිනො,
චාරුං ගච්ඡති ලොකග්ගො – හාසයන්තො සදෙවකෙ
–
10. උසභරාජාව සොභන්තො – චතුචාරීව කෙසරී,
තොසයන්තො බහූසත්තෙ – පුරසෙට්ඨමුපාගමී.
ගාථාවල තේරුම:-
1. මෙසේ සකලාංග පරිපූර්ණ වූ විනායකයන් වහන්සේ පොළොව කම්පා කරවමින් සත්ත්වයන්ට හිංසාවක් නො කෙරෙමින් ලෝකයෙහි ගමන් කරන සේක.
2. දක්ෂිණා ශ්‍රී පාදය පළමුව ඔසවමින් වඩනා වූ ශ්‍රී සම්පූර්ණ වූ ද්විපදෝත්තම වූ නරෝත්තමයන් වහන්සේ හොබනා සේක.
3. ගමන් කරන්නා වූ බුද්ධශ්‍රෙෂ්ඨයන් වන්සේගේ මෘදු වු යටිපතුල සමව භූමිය ස්පර්ෂ කරන්නේ ය. එහෙත් එහි රජස් නො තැවරෙන්නේ ය.
4. ලෝකනායකයන් වහන්සේ ගමන් කරන කල්හි අචේතන වූ පොළොවෙහි මිටි තැන් උස් වන්නේ ය. උස් තැන් සම වන්නේ ය.
5. ලෝකනායකයන් වහන්සේ ගමන් කරන කල්හි ගල්කැට මැටිකැට කැබිලිති හුල් කටු යන මේ සියල්ල මාර්ගයෙන් ඉවත් වෙයි.
6. භාග්‍යවතුන් වහන්සේ ඉතා දුරින් තබනු පිණිස පිය නො ඔසවා ඉතා ළඟින් ද නො තබන්නාහ. උන්වහන්සේ දෙදණ හා ගොප්ඇට එකිනෙක නොගටමින් ගමන් කරන සේක.
7. චරණසම්පන්න වූ තථාගතයන් වහන්සේ ඉතා වේගයෙන් නො යන සේක. නො සෙමින් ද නො යන සේක. යන කල්හි සන්සුන් වන සේක.
8. ඒ භාග්‍යවතුන් වහන්සේ උඩ යට සරස ද දිශානුදිශාවන් ද පමණ ඉක්මවා නො බලමින් සතර රියනක් පමණ තැන බලමින් ගමන් කරන සේක.
9. ඇතුන්ගේ ගමන බඳු ගමන් ඇත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගමන් කීරිමේදී හොබනාහ. ලෝකාග්‍රයන් වහන්සේ දෙවියන් සහිත ලෝකය සතුටු කරවමින් මැනවින් ගමන් කරන සේක.සතුටු කරවමින් මැනවින් ගමන් කරන සේක.
10. ඒ භාග්‍යවතුන් වහන්සේ වෘෂභ රාජයකු මෙන් ද, සිවු පයින් ගමන් කරන කේශර සිංහයෙකු මෙන් ද, බොහෝ සත්ත්වයන් සතුටු කරවමින් ශ්‍රේෂ්ඨ වූ පුරයට වැඩම කළ සේක.
මෙහිදී සුගත හා තථාගත යනදෙවදනද බෙහෙවින්ම සමාන බවද දත යුතුය.එසේනම් එයත් දැන මැනවින් සිතට ගමු මෙසේ..
සුගත – තථාගත යන දෙපය රූපයෙන් හා අර්ථයෙන් ද බෙහෙවින් සමානය. බුදුරදුන් තමන් වහන්සේ ගැන බෙහෙවින් ව්‍යවහාර කර තිබෙනු පෙනෙන්නේ තථාගත යන වචනය ය. එබැවින් මෙතැන්හි තථාගත යන වචනය ද විස්තර කළ යුතුය. බුදුරදුන් විසින් ම ද තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයෙහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථවිවරණය කර ඇත්තේ මෙසේ ය.
අට්ඨහි කාරණෙහි භගවා තථාගතො,
තථා ආගතොති තථාගතො,
තථා ගතොති තථාගතො,
තථලක්ඛණං ආගතොති තථාගතො,
තථධම්මෙ යථාවතො අභිසම්බුඬොති තථාගතො,
තථ දස්සිතාය තථාගතො,
තථවාදිතාය තථාගතො,
තථා කාරිතාය තථාගතො,
අභිභවනට්ඨෙන තථාගතො,
(සුමඬිගල විලාසිනී. 47)
1. පෙර බුදුවරුන් ආ පරිදි ආ බැවින් බුදුන් වහන්සේ තථාගත නම් වෙති. අතීතයෙහි ලොවුතුරා බුදුබවට පැමිණ වදාළා වු සියලූ බුදුවරයෝ සකල සත්ත්වයන්ට ම යහපත සැලසීමේ අදහසින් සකල සත්ත්වයන්ට ම යහපත සිදු කිරිමේ උත්සාහයෙන් ආවාහු ය. විපස්සී බුදුන් වහන්සේ ද එසේ ආහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන බුදුවරයෝ ද එසේ ම ආහ. යම් බලාපොරොත්තුවකින් ඒ අතීත බුදුවරයෝ ආවාහු ද, ඒ බලාපොරොත්තුවෙන් ම අප බුදුරජාණන් වහන්සේ ද ආහ. යම් සේ පෙර බුදුවරයෝ දාන, ශීල, නෛෂ්ක්‍රමය, ප්‍රඥා, වීර්‍ය්‍ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දශපාරමිතාවන්, දශඋපපාරමිතාවන්, දශ පරමාර්ථපාරමිතාවන් සම්පූර්ණ කොට අංග පරිත්‍යාග, නේත්‍ර පරිත්‍යාග, ධන පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග, පුත්‍රදාර පරිත්‍යාග යන පඤ්චමහා පරිත්‍යාගයන් කොට ආවාහු ද අප බුදුරජාණන් වහන්සේ ද එසේ ආහ. යම් සේ අතීත බුදුවරයෝ සතර සතිපට්ඨානයන්, සතර සම්‍යක්ප්‍රධානයන්, සතර සෘද්ධිපාදයන්, පඤ්චේන්ද්‍රයයන්, පඤ්චබලයන්, සප්තබෝධ්‍යංගයන් වඩා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩා ආවාහු ද, අප බුදුරජාණන් වහන්සේ ද එසේම ආහ. එසේ ආ බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
2. පෙර බුදුවරයන් වහන්සේ ගිය පරිදි ගිය බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. විපස්සී බෝදිසත්ත්වයෝ මවුකුසින් බිහි වූ කෙණෙහි ම සමවු පතුල් වලින් පොළොවෙහි සිටි සියලූ දිග් බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරුදිග බලා සත්පියවරක් ඉදිරියට ගමන් කොට ‘අග්ගොහමස්මි ලොකස්ස’ යනාදීන් අභීත ප්‍රකාශනයක් කළහ. සිඛී වෙස්සභූ කකුසන්ද කෝණාගමන කස්සප යන මහබෝධිසත්හු ද එසේම කළහ. අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝ ද එසේ ගමන් කළහ. ඒ ගමන අනේක විශේෂාදිගමනයන්ට පෙර නිමිත්තක් වන ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සම්පූර්ණයෙන් පොළොවෙහි සැපී එහි නො පිහිටයි. බෝසතුන්ගේ පතුල් සෑම තැනම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. බෝසතුන් උපන් කෙණෙහි ම සැම තැනම බිම සැපෙන සේ පොළොවෙහි පා තබා සිටීම චතුරිඬිපාදයන් ලැබීමේ පෙර නිමිත්තය. උතුරට ගමන් කිරීම සකල ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙරනිමිත්තය. සත්පියවරක් ගමන් කිරීම සප්තබෝධ්‍යංගරත්නයන්ගේ ප්‍රතිලාභයට පෙර නිමිත්ත. රන්ඳඩු ඇති චාමර එසවීම සකල තීර්ථකන් මැඩලීමේ පෙරනිමිත්තය. ශ්වේතච්ඡත්‍රය දැරීම අර්හත්ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේතච්ඡත්‍රය ලැබීමේ පෙර නිමිත්තය. සකල දිශාවන් බැලීම අනාවරණ සර්වඥාතාඥානය ලැබීමේ පෙර නිමිත්තය. අභීත ප්‍රකාශනය කිරීම කිසිවකුන් විසින් පෙරළිය නො හෙන උත්තම ධර්මචක්‍රය පැවැත්වීමේ පෙරනිමිත්තය. මහබෝසතුන්ගේ ඒ ගමන නො වරදින පෙරනිමිත්තක් වන ගමනෙකි. ඒ ගමන නිමිත්තෙන් සිදුවන සියල්ල නොවරදවා එසේම සිදුවෙයි. නො වරදවා ම සිදුවන කරුණුවලට පෙරනිමිති වන ගමනක්, උපන් කෙණෙහි ම ගිය බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.
තවද පෙර බුදුවරයෝ ද අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද නෛෂ්ක්‍රාම්‍යයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට ඉදිරියට ගියහ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය ද, ආලෝකසංඥාවෙන් ථීනමිද්ධයන් ද, අවික්ෂේපයෙන් උද්ධච්චකුක්කුච්චයන් ද, ධර්මව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාව ද දුරුකොට ඉදිරියට ගියහ. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට ගියහ. ප්‍රීතියෙන් අරතිය දුරුකොට ගියහ. ප්‍රථමධ්‍යානාදියෙන් නීවරණාදිය දුරුකොට ගියහ. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටිය හා තදේකස්ථ ක්ලේශයන් ද, සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික ක්ලේශයන් ද, අනාගාමී මාර්ගයෙන් අනුසයිත ක්ලේශයන් ද, අර්හන්මාර්ගයෙන් සකල ක්ලේශයන් ද ප්‍රහාණය කොට පරමසුන්දර නිර්වාණයට ගියහ. එසේ ගිය බැවින් බුදුවරු තථාගත නම් වෙති.
3. තථ යනු සත්‍යයට නමකි. නාමරූපයෙන්ගේ නියම ලක්ෂණන් සත්‍ය ලක්ෂණයන් දැන ගැනීම දුෂ්කර ය. එබැවින් සාමාන්‍ය ලෝකයා ඒ නාමරූපයෙන් සත්ත්ව පුද්ගලාදි වශයෙන් ගෙන ඒවා ගැන රැවටී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය නියම ස්වාභාවය ඇති සැටියට ම නො වරඳවා දැන සිටින සේක. නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය හෙවත් නියම ලක්ෂණය දැනීම තථ ලක්ෂණයට ඥානයෙන් පැමිණීමකි. තථ ලක්ෂණයට ඥාණයෙන් ඒමකි. එබැවින් ඥාණ ගමනින් තථ ලක්ෂණයට ආයේ ය, පැමිණියේ ය යන අර්ථයෙන් සර්වඥයන් වහන්සේ තථාගත නම් වෙති.
4. දුඃඛසත්‍යය, සමුදයසත්‍යය, නිරෝධසත්‍යය, මාර්ගසත්‍යය යන මේ ආර්‍ය්‍යසත්‍යයො සතර දෙන එසේම ඇති බැවින් තථ ධර්ම නම් වෙති. කිසි කලෙක අසත්‍ය නොවන බැවින් අවිතථ ධර්ම නම් වෙති. අන් අයුරකින් නොවන බැවින් අනන්‍යථ ධර්ම නම් වෙති. ඒකාන්තයෙන් ඇති බැවින් තථ නම් වු චතුරාර්‍ය්‍යසතය ධර්මය ඇති සැටියෙන් ම අවබෝධ කළ බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. එහි ගත යනුවෙන් කියවෙන්නේ අවබෝධ කිරිමය යන අර්ථය ය. තවද අවිද්‍යාව සංස්කාරයන්ට හේතුවන බව ද එසේම ය. සංස්කාරයන් විඥානයට හේතුවන බව ද එසේම ය. විඥාණය නාමරූපයන්ට හේතුවන බව ද එසේම ය. නාමරූපයන් ෂඩායතනයන්ට හේතු වන බව ද එසේ ම ය. ෂඩායතනයන් ස්පර්ශයට හේතු වන බව එසේම ය. ස්පර්ශය වේදනාවට හේතු වන බව ද එසේම ය. වේදනාව තෘෂ්ණාවට හේතු වන බව ද එසේම ය. තෘෂ්ණාව උපාදානයන්ට හේතු වන බව ද එසේමය. උපාදානයන් භවයට හේතු වන බවද එසේම ය. භවය ජාතියට හේතු වන බවද එසේම ය. ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාශයන්ට හේතු වන බව ද, එසේම ය එසේ ම වන බැවින් තථ නම් වු ඒ කරුණු අවබෝධ කළ බැවින් ද බුදුරජාණෝ තථාගත නම් වෙති.
5. සත්ත්වයන්ගේ චක්ෂුරාදි ද්වාරයන්ට පැමිණෙන්නා වු, ද්වාරයන්හි ගැටෙන්නා වු, ද්වාරානුසාරයෙන් සත්ත්වයන් දැනගන්නා වූ රූප ශබ්දාදි ධර්මයන් මනුෂ්‍ය දේව බ්‍රහ්මාදි සත්ත්වයෝ ආත්මනීයාදි වශයෙන් වැරදි ලෙස දනිති, ගනිති. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත්ත්වයන් වශයෙන් ද, සංස්කාරයන් වශයෙන් ද අනේකචක්‍රවාළයන්හි ඇති රූප ශබ්දාදි සියල්ල ඇති සැටියට ම දක්නාහ. සකළ සත්ත්වයන් විසින් දක්නා ලද , අසන ලද, පැමිණෙන ලද, සොයා ගන්නා ලද සියල්ල ඇති සැටියට ම දක්නා සේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
6. සත්‍යය, නො වරදින දෙය තථ නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ පස් මරුන් පරදවා ලොව්තුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේ ම වන බැවින් නො වරඳින බැවින් තථ නම් වේ. නො වරඳින දෙයක් ම ප්‍රකාශ කරන බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වන සේක.
තථාගතයන් වහන්සේ ථුලු නම් ජනපදයෙහි වැඩවෙසෙන සේක්, ලිච්ඡවිපුත්‍රසුනක්ඛත්ත නම් භික්ෂුව හා උත්තරකා නම් නියම්ගමට පිඬූ පිණිස වැඩ වදාළ සේක. එකල්හි එහි බලු වත පුරන කෝරක්ඛත්තිය නම් තවුසෙක් වාසය කෙළේය. ඔහු වස්ත්‍ර නො හඳනේය. භාජන නො පිළිගන්නේ ය. බිම දැමු ආහාර සතර ගාතයෙන් සිට කටින් ම සුනඛයෙකු සේ අනුභව කරන්නේය. සුනඛයෙකු සේ වකුටු වී බිම නිදන්නේය. බුදුරජුන් පසුපස ඇවිදිතත් රහතුන් නො හඳුනන සුනක්ඛත්ත, ඒ තවුසා දැක ‘වස්ත්‍ර ලෝභය, භෝජන ලෝභය, ආසන ලෝභය දුරුකොට බිම දැමු දෙය වළඳන මේ තවුසා ඒකාන්තයෙන් රහත් කෙනෙක, මොහු වැනි අන් පැවිද්දෙක් නැත. අපේ පැවිද්ද කුමක් ද? මොහුගේ පැවිද්ද ම නියම පැවිද්ද නොවේ දැ’යි සිතුවේ ය. සුනක්ඛත්ත මහණ, ස්වාභාවයෙන් ම ලාමක අදහස් ඇතියකු බව දන්නා තථාගතයන් වහන්සේ ‘මේ තවුසා දැක ඔහු කුමක් සිතුවේ දැ’යි බලා වදාරන සේක්, ඔහු සිතූ සැටි දැක, ‘සුනක්ඛත්ත, නුඹත් ශ්‍රමණශාක්‍යපුත්‍රයකැයි කියා ගන්නවා නොවේ දැ’යි වදාළහ. එකල්හි සුනක්ඛත්ත ‘ස්වාමීනි, කිනම් වරදක් නිසා මා හට එසේ කී සේක් දැ’යි විචාළේ ය. ‘නුඹ අර බලුවත පුරන කෝරක්ඛත්තිය රහතන් වහන්සේ කෙනකැ යි සිතුවේ නොවේ දැ’යි තථාගතයන් වහන්සේ වදාළහ.
එකල්හි සුනක්ඛත්ත ‘ස්වාමිනි, නුඹ වහන්සේ අර්හත්වයට මසුරු වන සේක් දැ’යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්, ‘මෝඝපුරුෂය, මම අර්හත්වයට මසුරු වන්නෙම් නො වෙමි. නුඹට රහත් නො වන්නෙකු ගැන රහත්ය යන දෘෂ්ටිය ඇති විය. එය හරුව, එය නුඹට දීර්ඝකාලයක් අනර්ථය පිණිස නොපවතීවා’ යි වදාරා ‘නුඹ රහතන් වහන්සේ කෙනෙකුන් සේ සිතූ කෝරක්ඛත්තිය අදින් සත්වන දින අජිර්ණ රෝගයෙන් මැරෙන්නේය. ඔහු සියල්ලන්ට හීන කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපදින්නේ ය, ඔහුගේ සිරුර ඛීරණත්ථම්භක නම් සොහොනයට ඇද දමන්නාහ, නුඹ කැමති නම් එහි ගොස් කොහි උපන්නෙහි දැයි ඔහුගෙන් අසන්න, ඔහු උපන් තැන කියනු ඇතැ’යි වදාළ සේක.
ඉක්බිති සුනක්ඛත්ත, කෝරක්ඛත්තිය වෙත ගොස් බුදුරජුන්ගේ ප්‍රකාශනය ඔහුට කියා ‘ශ්‍රමණ ගෞතමයන්ගේ කීම බොරුවන්නට, ඔබ පමණ දැන අහර ගනිමින් පරෙස්සම් වන්නය’ යි ඔහුට අවවාද කොට සත්වන දවස පැමිණෙන තුරු දින ගනිමින් සිටියේය. කෝරක්ඛත්තිය ඔහුගේ බස් අසා බුදු වදන් බොරු කරන්නට සිතා එදින පටන් නිරාහාරව ම සිටියේය.
සත්වන දිනයේ කෝරක්ඛත්තියගේ දායකයෙක් වෙනදා අප නිවසට පැමිණෙන ශ්‍රමණයන් වහන්සේ දින ගණනකින්ම නො පැමිණියහ. උන්වහන්සේ බලනන්නට යෙමි’යි සිතා ඌරුමස් පිසවාගෙන බත් ද සමඟ ගෙන ගොස් කෝරක්ඛත්තිය ඉදිරියේ බිම සැලූයේ ය. දින ගණනක් නිරාහාරව සිටි කෝරක්ඛත්තියට ඒ ආහාරය නොවළදා සිටිය නොහැකි විය. ඔහු ‘ශ්‍රමණ ගෞතමයන්ගේ කීම හරි ගියත් නොගියත් නිරාහාරව මැරෙනවාට වඩා මට අහරක් වළදා මැරීම හොඳය’ යි සිතා නැඟිට සතර ගාතයෙන් සිට බඩපුරා ඒ ආහාරය අනුබව කෙළේ ය. දින ගණනක් නිරාහාරව සිට අනුභව කළ ඒ ආහාරය ඔහුට දිරවා ගත හැකි නො වීය.
එදින රාත්‍රියෙහි අජීර්ණයෙන් ඔහු මැරී බුදුරජුන් වදාළ පරිදි කාලකඤ්ජිකා නම් අසුරයෝනියෙහි උපන්නේය. තීර්ථකයෝ කෝරක්ඛත්තියගේ මරණය අසා රැස්ව දවස් ගැන බලා ‘ශ්‍රමණ ගෞතමයන්ගේ එක් බසක් හරි ගියේය. දැන් මේ මිනිය අන් තැනකට ඇද දමා ඔහුගේ වචනය බොරු කොට නිග්‍රහ කරම්හ’ යි සිතා කෝරක්ඛතියගේ මිනිය වැලකින් බැඳ බලූකුණක් මෙන් ඇඳගෙන ගියෝය. ඔවුනට ගිය ගිය තැන මිදුල්ම විය. දැමීමට සුදුසු තැනක් නොලැබ ඉදිරියට ගියා වූ ඔවුහු ඉබේම ඛීරණත්ථම්භ නම් සොහොන් බිමට පැමිණියෝ ය. ඔවුහු එය බුදුරදුන් වදාළ සොහොන බව දැන අන් තැනකට ගෙන යනු පිණිස මිනිය අදින කල්හි බැඳි වැල් සිඳී ගියේ ය. මිනිය එතැනින් සෙලවිය නොහැකි විය. ඔවුහු වන්නාක් වේවා’ යි මිනිය එහි දමා ගියහ.
ඉක්බිති සුනක්ඛත්ත භික්ෂුව ‘ශ්‍රමණ ගෞතමයන් කී දේවලින් කොටසක් හරි ගියේය. මළ එකතු නැඟිට අනිකකු හා කථා කිරීම නම් සිදු නො වන්නකි. දැන් මම ගොස් ඔහුට කථා කරන්නෙමි. ඔහු කථා කළ හොත් හොඳය, නොකළ හොත් ශ්‍රමණ ගෞතමයන් හට මුසාවාදයෙන්, නිග්‍රහ කරන්නෙමි’ යි සිතා ඛිරණත්ථම්භ සොහොනට ගියේ ය. එහි ගොස් කෝරක්ඛත්තියගේ, සිරුරට තෙවරක් අතින් තට්ටු කර ‘ඇවැත්නි, කෝරක්ඛත්තිය, ඔබ උපන් තැන දන්නෙහි දැ’යි ඇසී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අසුරයා ගෙන්වා කෝරක්ඛත්තියගේ මළ සිරුරට ප්‍රවේශ කරවා ඔහු කාලකඤ්ජිකා නම් වූ සියල්ලට හීන අසුර යෝනියෙහි උපන් බව ප්‍රකාශ කර වූහ. බුදුරදුන්ගේ වදන ඔවුනට බොහෝ උත්සාහ කොට ද වරදවන්නට බොරු කරන්නට නො පිළිවන් විය.
තථාගතන් වහන්සේ වෛශාලිනගරාසන්නයේ මහවනයේ කූටාගාර ශාලාවක වැඩ වෙසෙන කල්හි වෛශාලියෙහි පාථිකපුත්ත නම් කීර්තිමත් අවේලක තවුසෙක් විය. ඔහු වෛශාලි නගරයෙහි පිරිස් මැද මෙසේ කියයි, ‘ශ්‍රමණ ගෞතම තෙමේ ඥානවාදියෙකි, මම ද ඥානාවාදි වෙමි. ඥානවාදි වූ මම ඥානවාදි ගෞතමයන් හා තරඟයට සෘද්ධීප්‍රාතිහාර්‍ය්‍ය කිරීමට සුදුසු වෙමි. ප්‍රාතිහාර්‍ය්‍ය සඳහා ශ්‍රමණ ගෞතමයෝ මාර්ගයෙන් අඩක් දුර එත්වා. මම ද මාර්ගයෙන් අඩක් දුර එන්නෙමි. ශ්‍රමණ ගෞතමයන් එක් ප්‍රාතිහාර්‍ය්‍යක් කළ හොත් මම දෙකක් කරමි. ශ්‍රමණ ගෞතමයන් ප්‍රාතිහාර්‍ය්‍ය දෙකක් කළහොත් මම සතරක් කරමි. ඔවුන් සතරක් කළ හොත් මම අටක් කරමි. ශ්‍රමණ ගෞතමයන් කොතෙක් ප්‍රාතිහාර්‍ය්‍ය කළත් මම ඔවුන් කරන ප්‍රාතිහාර්‍ය්‍ය මෙන් දෙගුණයක් ප්‍රාතිහාර්‍ය්‍ය දක්වමි.’
ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත පාථිකපුත්‍රගේ කථාව අසා බුදුරදුන් වෙත ගොස් පාථිකපුත්‍ර කියන කරුණ උන්වහන්සේට සැල කෙළේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් ‘සුනක්ඛත්තය, පාථිකපුත්‍රයා හට ඒ කීම අස්කර නො ගෙන, තමාත් බුදු කෙනෙක්ය යන සිත ඉවත් නොකොට, තමාත් බුදු කෙනෙක යන දෘෂ්ටිය ඉවත් නො කර, මා ඉදිරියට නො ආ හැකි ය. ඉදින් එන්නට උත්සාහ කළහොත් ඔහුගේ හිස බොටුවෙන් ගැලවී බිම වැටෙන්නට ද පිළිවන, සත්කඩකට පුපුරා යන්නට හෝ පිළිවනැ’යි වදාළ සේක. එකල්හි සුනක්ඛත්ත මහණ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ පරෙස්සම් වන්න. නුඹ වහන්සේ පරිස්සම් වන්නය’යි කීය. ‘නුඹ කුමක් නිසා මට එසේ කියන්නෙහිදැ‘යි තථාගතන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, පාථිකපුත්‍ර යම්කිසි ක්‍රමයකින් නුඹ වහන්සේ ඉදිරියට පැමිණීය හොත් නුඹ වහන්සේගේ කීම බොරු වන්නේය’ යි සුනක්ඛත්ත කීය. එකල්හි තථාගතයන් වහන්සේ ‘සුනක්ඛත්තය, තථාගතයන් වහන්සේ හරි නො යන කථා කියත්දැ’යි වදාළහ. ‘ස්වාමීනි, පාථිකපුත්‍ර හට නුඹ වහන්සේ ඉදිරියට නො ආ හැකි බව නුඹ වහන්සේ විසින් නුවණින් දක්නා ලද ද? නැත හොත් දෙවියන් විසින් හෝ නුඹ වහන්සේට කින ලදදැ’යි සුනක්ඛත්ත ඇසීය’ ‘සුනක්ඛත්ත, මම ඒ බව දුටිමි, දෙවියෝ ද එ මට කීහ’යි තථාගතයන් වහන්සේ වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ ‘සුනක්ඛත්ත මම වෛශාලියෙහි පිඬු පිණීස හැසිර දිවා විහරණය පිණිස පාථිකපුත්‍රගේ ආරාමයට යෙමි. නුඹ කැමති නම් ඒ බව පාථිකපුත්‍ර හට දන්වන්නය’යි වදාළහ.
පසු දින තථාගතන් වහන්සේ වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය සඳහා පාථිකපුත්‍රගේ ආරාමය බලා වැඩම කළ සේක. සුනක්ඛත්ත වත පිළිවත කරමින් බුදුරදුන් සමීපයෙහි හැසිරෙන්නෙකු වුව ද බුදුරදුන්ට සතුරු බුදුරදුන් පරදිනු දක්නට කැමති පුද්ගලයෙකි. ඔහු වෛශාලිට ගොස් ‘පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ පාථිකතපුත්‍රගේ ආරාමයට වැඩම කළහ. අද උසස් පැවිද්දන් දෙදෙනෙකු අතර ප්‍රාතිහාර්‍ය්‍ය තරඟයක් වන්නේ ය. එය බැලීමට සැම දෙනාම පැමිණෙත්වා’යි කියමින් ඇවිද්දේ ය. ඔහුගේ බස් අසා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ලිච්ඡවීහු ද බ්‍රාහ්මණ ගෘහපතීහු ද නානාලබ්ධික ශ්‍රමණයෝ ද ප්‍රාථිකපුත්‍රගේ ආරාමයට ගලා ආහ. පිරිස දහස් ගණනක් වූහ. තමාට ප්‍රාතිහාර්‍ය්‍යය පෑ නොහොන බව පාථිකපුත්‍ර දනී. ඔහු කළින් කීයේ බුදුරදුන් ප්‍රාතිහාර්‍ය්‍ය තරඟයකට ඉදිරිපත් නොවෙතිය යන අදහසිනි. භාග්‍යවතුන් වහන්සේ දවල් කාලයේ විසීම පිණිස ඔහුගේ ආරාමයට පැමිණ ඇති බවත් ප්‍රාතිහාර්‍ය්‍ය දක්නට මහ සෙනඟක් එමින් සිටින බවත් ප්‍රාථිකපුත්‍රට සැල වි ඔහු බිය විය. කළ හැකි අනිකක් නැත්තෙන් ඔහු තින්දුකඛාණූ නම් පිරිවැජි අරමට පලා ගියේය.
ප්‍රාතිහාර්‍ය්‍ය දක්නට රැස්වූ පිරිස පාථිකපුත්‍ර බිය වී තින්දුකඛාණු නම් පරිබ්‍රාජකාරාමයට පලා ගිය බව අසා ඔහු කැඳවා ගෙන එනු පිණිස පුරුෂයකු යැවූහ. ඔහු පාථිකපුත්‍ර වෙත ගොස් ‘ඇවැන්නි පාථිකපුත්‍ර, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හා ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමට කැමති බව කීයෙහි ය. ශ්‍රමණ ගෞතමයන් මගින් අඩක් දුර ආව හොත් ඔබත් අඩක් මඟ ගොස් ශ්‍රමණ ගෞතමයන් කරන ප්‍රාතිහාර්‍ය්‍ය මෙන් දෙගුණයක් ප්‍රාතිහාය්‍ය කරන බව ජනයා මැද තැන තැන කීයෙහි ය, දැන් ශ්‍රමණ ගෞතමයෝ මඟින් අඩක් ඉක්මවා ඔබගේ අරමට ම පැමිණ සිටින්නාහ, ප්‍රාතිහාර්‍ය්‍ය දකිනු රිසියෙන් බොහෝ ජනයා ද එහි පැමිණ සිටිති. දැන් ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමට කාලය පැමිණ ඇත. එහි යනු මැනව’යි කීය. පාථිකපුත්‍ර ‘එන්නම් ඇවැන්ති, එන්නම් ඇවින්ති‘යි කියමින්, හුන් ගල් තලාවෙහි ම නොසැලී හිඳී. ඔහු නොඟිටින කල්හි ඒ පුරුෂයා ‘කිමෙක් ද, පාථිකපුත්‍ර ඔබගේ උකුල් ඇට ගලේ ඇලූණේ ද? ගල හෝ ඔබේ උකුල් ඇටවල ඇලී ගියේද? එන්නම් එන්නම්’යි කියමින් ඔබ නො සෙල්වෙන්නෙහිය’ යි කීය. පාථිකපුත්‍ර නැවත ද ‘එන්නම් ඇවත්නි, එන්නම් ඇවැත්නි’යි කියමින් එහි ම නොසැලී හිඳී. පාථිකපුත්‍ර නොගැටින කල්හි ඔහු පරාජිතව කරකියා ගත හැකි දෙයක් නැතිව ගලෙහි ඇලී ඉන්නා බව ඒ පුරුෂයාට වැටහි ආපසු අවුත් පිරිසට කාරණය දැන්වීය.
එකල්හි තථාගතයන් වහන්සේ පිරිස අමතා “ඇවැත්නි, පාථිකපුත්‍රහට තමා බුදු කෙනෙකු යන ප්‍රකාශනය ඉවත් කර නො ගෙන ඒ සිත ඒ දෘෂ්ටිය අත් නො හැර මා ඉදිරියට නො ආ හැකිය, ඉදින් එන්නට සිතුයේ නම් ඔහු ගේ හිස ගිලිහි බිම හෝ වැටෙන්නේ ය. පුපුරා හෝ යන්නේ ය’යි වදාළ සේක.
එකල්හි ඒ පිරිසෙහි උන් ලිච්ඡවි මහාමාත්‍යයෙක් නැගිට ‘පින්වත්නි, මා එනතුරු මොහොතක් නවතින්න. පාථික පුත්‍ර මේ පිරිසට ගෙන එන්නට මම ද උත්සාහ කර බලමි’යි කියා ඔහු වෙත ගියේය. ඔහු එහි ගොස් පාථික පුත්‍රයා අමතා ‘ඇවැත්නි, ඔබ විසින් කළ තමා බුදු කෙනෙකු යන ප්‍රකාශනය ඉවත් කර නො ගෙන, තමා බුදු කෙනෙක යන සිත, තමා බුදු කෙනෙක යන දෘෂ්ටිය නො හැර ඔබට ශ්‍රමණ ගෞතමයන් ඉදිරියට නො පැමිණිය හැකිය. ඉදින් ඔබ පැමිණෙන්නට සිතුයේ නම්, ඔබ ගේ හිස ගැළවී හෝ වැටෙන්නේ ය, පුපුරා හෝ යන්නේය’යි ශ්‍රමණ ගෞතමයෝ පිරිස් මැද ප්‍රකාශ කළහ. ඔබ ශ්‍රමණ ගෞතමයන් වෙත යනු මැනවි. අන් ප්‍රාතිහාර්‍ය්‍යයකින් කම් නැත, යාමෙන් ම ඔබට ජය ලබා දෙමි’යි කීය. පාථීකපුත්‍ර ‘එන්නම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි’යි කියමින් ගලටම ඇලී නිසල ව සිටී. ඔහු නැවත ද පාථික පුත්‍ර හට එන ලෙස කීය. පාථික පුත්‍ර, එමි ය, එමි ය, කියමින් නිසල ව හිඳී. අමාත්‍ය තෙමේ පාථික පුත්‍ර පරාජිත ව ඉන්නා බව තේරුම් ගෙන පෙරළා ගොස් ඒ බව දැන්වීය.
එකල්හි තථාගතයන් වහන්සේ පාථිකපුත්‍රයා කඹවලින් බැඳ ගවයන් ලවා අද්දවා ද තමන් වහන්සේ ඉදිරියට නොගෙන ආ හැකි බව වදාළසේක. එ කල්හි ජාලිය නමැත්තෙක් පිරිසට කියා ඔහු කැඳවා ගෙන එන පිණිස පාථික පුත්‍රයා නැඟිටවන්නට උත්සාහ කෙළේය. නොයෙක් ලෙසින් කරුණූ කියමින් අවමන් කරමින් උත්සාහ කළ නුමුත් පාථිකපුත්‍රයා නැගිටවිය හැකි නොවීය. පාථිකපුත්‍රයා නැගිටවනු බැරි බව තේරුම් ගත් ජාලිය පෙරළා අවුත් ඒ බව පිරිසට කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ රැස් වූ මහා පිරිසට දහම් දෙසා බොහෝ දෙනකුන් ක්ලේශබන්ධනයෙන් මුදවා සත්තලක් අහසට නැඟ තමන් වහන්සේගේ ශරිරයෙන් ගිනිදැල් නික්මවා දුම් නික්මවා ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා මහවනයේ කූටාගාර ශාලාවට වැඩම කළ සේක. පාථික පුත්‍රයා පිළිබඳව වදාළ දෙය අසත්‍ය කරන්නට බොහෝ දෙනකුන් උත්සාහ කළ ද නො පිළිවන් වීය.
(මේ කථා දෙක පාථීකසුත්‍රයෙනි)
7. ලෝකයේ බොහෝ දෙනා එකක් කියමින් අනිකක් කරති. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් ආකාරයකින් කියන සේක් නම් ඒ ආකාරයෙන් ම කරන සේක. එබැවින් උන් වහන්සේ තථාගත නම් වෙති. ලෝකයෙහි බොහෝ දෙනා එකක් කරමින් අනිකක් කියති. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් කරන සේක් නම්, ඒ ආකාරයෙන් ම කියන සේක. එබැවින් උන් වහන්සේ තථාගත නම් වෙති.
8. අගද යනු බෙහෙතට නමෙකි. නොවරදින්නා වූ සත්‍ය වූ බෙහෙත ‘තථ අගද’ නමි. නො වරදින බෙහෙත් ඇත්තේ තථාගත ද නම් වේ. එයම දකාරයට තකාර කිරීමෙන් තථාගත නම් වේ. දිව්‍යඖෂධයෙන් සර්පයන් මඬින්නාක් මෙන් වසඟයට ගන්නාක් මෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දේව බ්‍රහ්මයන් සහිත සකල ලෝකය අභිභවනය කිරීමට, වශයෙහි පැවැත්වීමට සමත් නොවරදින්නා වූ බෙහෙතක් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේ ය. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ඒ බෙහෙත නම්, අනුපම දේශනා විලාසය, චතුරසංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශලස්කන්ධය, ආර්‍ය්‍යශීලස්කන්ධය, ආර්‍ය්‍යසමාධිස්කන්ධය, ආර්‍ය්‍යප්‍රඥාස්කන්ධය යන මේවාය.
තථාගතයන් වහනසේ තමන් වහන්සේ වෙත පැමිණෙන, නුවණ නමැති කඩුවෙන් පරවාදයන් සිඳලීමට සමත් තියූණු නුවණැති ක්ෂත්‍රිය පණ්ඩිතයන් ද, බ්‍රාහ්මණ පණ්ඩිතයන් ද, ශ්‍රමණ පණ්ඩිතයන් ද, දේශනා විලාස නමැති ඖෂධයෙන් අභිභවනය කොට තමන් වහන්සේගේ වශයට ගනිති. බෝහෝ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ තථාගතයන් වහන්සේ පරදවන්නට සිතා විසඳීමට දුෂ්කර වූ නොයෙක් ප්‍රශ්නයක් ගොතා ගෙන උන් වහන්සේ වෙත පැමිණ උන් වන්සේගේ දේශනය අසා ගොතා ගෙන ආ ප්‍රශ්න නොවිචාරා උන් වහන්සේගෙ ශ්‍රාවක බවට පැමිණෙති’ තථාගතයන් වහන්සේ අප්‍රමාණ චක්‍රවාළයන්හි වෙසෙන මනුෂ්‍ය දේවබ්‍රහ්මාදි සකලසත්ත්වයන් ම පිනෙන් ද ශීලයෙන්ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, විමුක්තියෙන් ද අභිභවනය කොට සිටින සේක’ එබැවින් උන් වහන්සේ ලෝකයෙහි අතුල්‍ය වෙති, අප්‍රමෙය්‍ය වෙති, අනුත්තර වෙති, රජුන්ට රජ වෙති, දෙවියන්ට දෙවි වෙති, බ්‍රාහ්මයන්ට අතිබ්‍රහ්ම වෙති. මෙසේ කරුණු අටකින් බුදුන් වහන්සේ තථාගත නම් වන සේක.
නමස්කාර වේවා ඒ මඟේ සුගත තථාගතයන් වහන්සේට .
සාධු?
සාධු??
සාධු???
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
නමස්කාර වේවා.
මෙසේ “සුගත” සම්බුදු ගුනයෙන් සමන්වාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකාන්තයෙන්ම. ” සුගත ” සම්බුදු ගුන සපිරි උතුම්ම උතුමාණෝ වන සේකමය. එසේ හෙයින් “සුගත ” නම් සම්බුදු ගුණයෙන් සමන්වාගත මඟේ අමාමෑණී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට.
මාඟේ නමස්කාරයවේවා
මා දිවියද සදා පූජාකරමී
පලමුවද පූජාකරමී පූජාවේවා
දෙවනුවද පූජා කරමී පූජාවේවා
තෙවනුවද පූජාකරමී පූජා ම වේවා.
සාධු.!.?සාධු.!!.??සාධු .!!!???
භාවනාව සඳහා
? මෙනෙහි කරන ක්‍රමය.
1 ) විජ්ජා යනු කුමක්ද චරන යනු කුමක්ද?
2 ) එම සුගත සම්බුදු ගුනය කෙනෙකු තුළ තුළ පිහිටීමට අදාල හේතු මොනවාද?
3 ) මේ හේතුන්හි ඵලයන් නොහොත සුගත සම්බුදු ගුනය භාග්‍යවතුන් වහන්සේගේ චරිතය තුල විද්ළුමානද.
නොහොත්
එසේ පැවතුන කෙනෙක් තුළ ඇති වන ජීවිත ලක්ෂණ බුද්ධ චරිතය තුළ විද්‍යමාන වූයේ ද යන මේ කාරණය විජ්ජා චරණ ගුනයය තුළින් සිහිපත් කර බැලිය යුතුයි.
සාධු?සාධු??සාධූ??
මේ අතිතුම් සම්මා සම්බුදු ගුනකඳ අපටත්
ආදර්ශය වේවා..
සහ
ආදර්ශ කරගමු
මා ඔබ අප සැමට
? මා ගනිමි ආදර්ශ.
සියලු විද්‍යා පරතෙර ගොස් උතුම් චරණය පලකෙරූ..
මමද සම්බුදු සමිඳු අනුවම දරමි විද්‍යා අති ගරූ
චරණයෙන් ලෝ බබලවන්නෙමි සැම දනන් සිත් සනසමින්.
??ආශිර්වාද වේවා මට ඔබට අප සැමට සමසේ.
??????????????????
?️ සම්බුදුගුණ?️
? ආශිර්වාද ප්‍රාර්ථනා
????? සත්‍යක්‍රියා….?????
මේ උතුම් මනසිකාරය තුල මා ඔබ සරන ගිය මහා මහොත්තම සම්මා සම්බුදු සමිඳුන් ගේ අපරිමිත සීලයේ ගුන සුවඳ හදට දැනෙනු ඇත.
ඒවා නිකන්ම හුදුසීල් නොවන්නේ එහි මුල මැඳ අග යන තුන් තැනම ඉතා නිවැරදිම හා පරිපූර්ණම වැඩ පිලිවලකින් යුතු නිසයි.කෙසේ වෙතත්.
ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේටවත් සමාන වෙනත් ශාස්තෘවරයෙක් වත්.
එ් ශ්‍රී සද්ධර්මයට සමාන වෙනත් සද්ධර්මයක් වත්.ඒ උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට සමාන උතුම් ශ්‍රාවක පිරිසකවත් මේ විශ්වයේ. කොතනකවත් නැත.
මෙය ඒකානත සත්‍යයක්මයි මෙය දෙවියන් බඹුන් මරුන් සහිත මේ සමස්ත විශ්වයේ කිසිවෙකුටවත් කරුනු සහිතව සාධක සහිතව ප්‍රතික්ෂේප කල නො හැකි දෙයකි.මෙය ඒකාන්ත සත්‍යයක් මයි මේ සත් බෙලෙන් යහපතක් ම වේවා ඔබ අප සැමටම
මෙසේ මෙසේ ” සුගත” ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදු හිමි ගුණයද සත්‍යක් මයි ඒ සම්බුදු ගුන සත්‍යනුභාව බෙලෙන්ද ඔබ සැමටත් සකල ලෝ වාසීන්ටත්.පිරිසුදු ව බබලන.
දෙව් මිනිසුන්ද ඉක්මවිය හැකි.
නිවන් අමතයෙන් නිති සැනහෙන.
අතුල්‍ය වූ අසමාණ වූ.
අවබෝධයෙන් පිරිපුණ්.
අණන්ත තේජසින් යුතු.
අසත්‍යට නො නැමෙන.
අනභිභවණිය වූ.
නිකෙලෙස් උත්තම සිතක් පිණිසත්.
අප්‍රමාන සීල ගුණයෙන් යුතු සිතක් පිණිසත්.අසරණ හැම විටකම සරනක ලැබෙන්නටත්
කිසිදු අයහපතකට මැඬ නොපැවැත්විය සිතක් පිණිසත්. හැකි ප්‍රහීන නොවන ගුනැති. සිතක් පිණිසත්.
නිති කෙලෙසුන්ගෙන් තොර මනා අවබෝධයෙන් පිරිපුන් උතුම් හැසිරීමෙන හා දැනුමින් යුතු
දහමින් ප්‍රභාවිත විශිෂ්ඨ සිතක් පිණිසත්.
විශිෂ්ඨ දර්ශනයෙන් හෙබි උතුම් නිවුනු සිතක් පිණිසත්. හැම මමායනයෙන් තොර සහ හැම කෙලෙස් මල රහිත වූ හැම යහපත් කිත් පැසසුම් ලබනා සිතක පිණිසත්.
නිති මැනවින් සංවර වූ ආර්‍ය සීලී සිතක් සහිත වීම පිණිසත්
අසත්‍ය කිසිවිට නො පවසන සිතක් පිණිසත්.
අසම සම අසදිස උතුම් චරිතයක් පිණිසත්
හැම සැකයෙන් තොර වූත්.ශෝකයෙන් තොරවූත්
නුවනැත්තන්ගෙන් ප්‍රශංසා ලැබිය යුතු අන්දමේ මෙත් සිතක් සහිතවීම පිණිසත්.
මනා සතියෙන්ම සිත නිති පැවැත්විය හැකි.අන්‍යන්ද තම සිතද නිති මැනවින් හික්මවාගත හැකි.ස්භාවයක් පිණිසත්.
කිසිවකට මැඩපැවැත්විය නොහැකි බිය නොවන උතුම් නිර්භයසීලි අසහාය සිතක් පිණිසත් හේතුවේවා.
මැනවින් හික්මුණු අජානීය වූ..අසමාන ප්‍රඥ්ඤාවක් සහිත සිතක් පිණිසම හේතුවේවා…
නික්ලේශී සිතැති උතුමෙකු වන්නම ලැබේවා…
අපගේ සිල් රුව ගුණ ණැන සුවඳින් මුලුමහත් විශ්වයම ආලෝකමත් වේවා.සුවඳවත් වේවා එයින්ම බැබලේවා..
වෙනත් පහත් ජාති කුල මානාදියෙන් බැබලීමට උත්සාහ නොකරන්නෝ වෙත්වා……
සුගත සම්බුදු සුන්දර මඟ පෙන්වීම හැමවිට මට අපට හැමවිටම සසර වේවා හැමවිටම සියල්ලම මැනවින් අවබෝධ කිසිවක් ආවරණ නො වේවා
සියල්ලන්ටම හා සියල්ලට නායක කුල සහිත ගුණ සහිත මැනවින් දමණය වූ ඍජුවූ කයක් මනසක් පිණිස ම වේවා……..
ආහාර සමුදය වැටහේවා…
පෙර විසූ කඳ පිලිවෙලද වැටහේවා..
ආලෝකමත් දිවියක්ම වේවා…
නොයෙක් ඉර්ධීන්ගෙන් යුතු දිවියක්ම වේවා.
හැම සැකආදී දුරුකල යුතු දෙය දුරුවේවා.
ප්‍රහීනකල යුතු දෙය ප්‍රහීන වේවා..
කාමයන් ගැන නෙත් නො යේවා.
කාමය අභිභවනය වූ අතිඋතුම් වූ
කාමාභිභූ දිවියක්ම වේවා.
අපිස් බව නිති සිත රැඳේවා.
හැම ආශ්‍රවයන් නසන නුවනින් යුතු දිවියක්ම වේවා
කර්‍ම හා විපාකයන් ගැන සිතේවා…
හුඳකලා සුව දැනේනා දිවියක්ම වේවා.
නිති හිස මත අමා සද්ධර්මයම පවතීවා…
නිති හැමටම කළණ දසුනක්ම වේවා…
නිති සැබෑ අවිහිංසාවාදී ගුනෙන් යුතු වෙත්වා.
ඒක පුද්ගල වූ උත්තමණිය ජීවිතයක් ම වේවා..
හැම රෝගයන් ගෙන් මිඳූනු
එයට මඟ දත් සහ මඟ පෙන්වන ගුන වැඩේවා
නිවන් මඟ දක්ෂ වේවා.
හැමට ප්‍රිය ගුන වැඩේවා…
නිවන් මඟ නිති දර්ශනය වේවා..
මහ කුළුනු ගුන සිත වැඩේවා…
කලගුන දන්නා බව නිති සිත රැඳේවා
කිසිවකින් කිසිවිට නො සැලෙන
තාදී සිතක සැනසුම නිති ඔබ හද පවතීවා.
සැම සිත් වැටහේවා…
නිති උතුම් හැසිරීමෙන් ලොව සරන්නට ලැබේවා.
රන්වන් කයක් රන්වන් ගුන කයක්ද වේවා.
කෙලෙස් අඳුරින දුරුවූ සිතක් කයක්ම වේවා..
ඒ පිණිස මේ සම්මා සම්බුදු ගුණකඳහි ආශීර්වාද පුණ්‍යබලය ඒකාන්ත සත්‍යයක්‍රියාවක්ම වේවා..
බුදුගුණ අනන්තයි…
සදහම් ගුණ අනන්තයි…
මහසඟ ගුණ අනන්තයි…
ඒ අනන්තරවූ බුදු ගුණ බලයෙන්ද …
අනන්ත සදහම් ගුණ බලයෙන්ද…
අනන්ත මහ සඟගුණ බලයෙන්ද…
අනන්ත මව්පිය ගුණ බලයෙන්දඅනන්ත.
අාචාර්‍ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද.
අනන්ත මග බෝසත් ගුණ බලයෙන්ද
අනන්ත අාර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද.
අනන්ත අාර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද
මාගේ සීල සමාධි ප්‍රඥ්ඤා දී ගුණ බලයෙන්ද
ඔබ සැම නිදුක් වෙත්වා !.
නිරෝගි වෙත්වා !.
සුවපත් වෙත්වා !.
මාගේ මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝ ඔබ සැම කලණ මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු සත්වයෝද
නිදුක් වෙත්වා !.
නිරෝග වෙත්වා !.
සුවපත් වෙත්වා !.
අායුෂයෙන් වැඩෙත්වා !.
වර්ණයෙන් වැඩෙත්වා !.
සැපයෙන් වැඩෙත්වා !.
කාය බලයෙන් වැඩෙත්වා !.
ඥාන බලයෙන් වැඩෙත්වා !.
සුවසේ නිදත්‍වා !.
සුවසේ පිබිදෙත්‍වා !.
දෙවි මිනිසුන්හට ප්‍රිය වෙත්‍වා !.
දෙවි බඹුන්ගෙන් අාරක්‍ෂාව ලබත්‍වා !.
ගුණයෙන්,නුවණින් වැඩෙත්වා !.
යසසින්,ඉසුරෙන් වැඩෙත්වා !.
සැපතින්,සම්පතින් වැඩෙත්වා !.
හිරි,ඔතප් ගුණයෙ වැඩෙත්වා !.
ශ්‍රද්ධාවෙන්,සීලයෙන් වැඩෙත්වා !. ශෘතයෙන්,ත්‍යාගයෙන් වැඩෙත්වා !.
ඥානයෙන්,අවබෝධයෙන් වැඩෙත්වා !.
සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා !.
ශාන්තියෙන්,ඉවසීමෙන් වැඩෙත්වා !.
සැනසුම් සුවයෙන් වැඩෙත්වා !. මෛත්‍රියෙන්,කරුණාවෙන් වැඩෙත්වා !.
මුදිතාවෙන්,උපේක්‍ෂාවෙන් වැඩෙත්වා !.
සමථ,විදසුන් නුවණින් වැඩෙත්වා !.
සියවස් කාලයක් දීර්ඝායුෂ වළඳත්‍වා !.
දෙලොව සුභ සෙත ලබත්‍වා !.
සියළු සත්‍වයෝ සුමිහිරි නිවන් සැපතින් සුවපත් වෙත්‍වා !.
සුවපත් වෙත්‍වා !..
සුවපත් වෙත්‍වා !..
සම්මා සම්බුදු සරණයි ….!!!ඔබට
මේ ආදී අනන්තවූ තුණුරුවන් ගුණ බලයෙන්
සුභම සුභ උදෑසණක් වේවා…!!!
පින්බර වාසනාවන්ත දවසක්වේවා …!!!
අද දවස පුරාවට මත් දිවිය පුරාවටමත් ඔබගේ ගතේ සිතේ සියලූම වේදනාවන් පීඩාවන් පහවීයේවා…!!!
සිතෙහි සතුට සැනසුම නිරතුරුවම පවතීවා…!!!
අද දවස පුරාවට ඔබගේ සිතෙහි දාන ශීල භාවනාදි බොහෝ කුශල චේතනාවන් වැඩේවා …!!!
පහලවන්නාවූ කුශල චේතනාවන් මස්තකප්‍රාප්ත කරගැණීමට වාසනාවන්ත හේතු සකස් වෙත්වා…!!!
ඔබගේ සිත ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ සැමට සැනසීම වේවා.!!.සියලු මිසදුටු බලවේග හිරු දුටු අඳුරක් සේ පහව යත්වා.සියලු සැදැහැතියනට ධර්මමය සැනසිල්ල විඳගන්න ලැබේවා.!!.
සිල් සුවඳින් … ගුණ සුවදින් … නැණ නුවනින් වැඩේවා.!!!.
නිදුක් ,නිරෝගී ,සුවපත්ම වේවා.!!. සාධු.!!.සාධු.!!.
සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ…
~ කල්‍යාණ මිත්‍ර අමිල රුවන්