සතිය සහ සමාධිය

මේ ගුණ දෙකම බෞද්ධයන්ගේ උතුම් ගුණ බව තදින් සලකාගෙන විසිය යුතුය. භාවනාරම්භයේදි සතිය යොදන ආකාරය හිතටගෙන කරන කියන හැම වැඩකදීම හොදට සිහිය යොදා කලයුතු බව තේරැම් ගතයුතුව ඇත. කරන හැම දෙයක්ම සතිමත්ව කරන විට යෝගාවචරයාගේ සියලු ක්‍රියා එක මට්ටමකින් පවතිනු ඇත. මේ සති⁣ය පිලිබද සමතාවය දියුණු වීම නිසා යෝගාවචරයාගේ පැවැත්මද දියුණුවට පත්වේ. එයින් සෑම ඉරියව්වක්ම සමව පවතී.

සති සමාධි දියුණු කිරීම මුලදී දුෂ්කර දෙයක් සේ පෙනුනද යෝගාවචරයාගේ දියුණුව නම් සති සමාධි දෙකේ දියුණුව බව තදින් අදිටන් කරගත යුතුව ඇත. මුලදී සතිය ගැන උනන්දුවෙන් කටයුතු කරනවිට හා ඒවෙනුවෙන් මහන්සි වෙනවිට නොදැනීම වාගේ එය සිතට අල්ලන ආකාරය දැකගන්න පුලුවන්. කල්යාමේදි සතිය යෙදීමට කිසිම උත්සාහයකින් තොරව සතිමත් වන ආකාරය තමන්ටම දැකගන්න පුළුවන්. සතිය මැනවින් දියුනු වන විට සමාධියද ඒ සන්තානයේ නොදැනීම වැඩීයන්නේය. සතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් තමන්ගේ ඉරියව් පැවතුම් ගැන අවදානය යොමු කලයුතුය. බොහෝ දෙනෙකුට පර්‍යංඛ භාවනාවේදි සිත තැන්පත් වේ. බොහෝ දෙනෙක් එයින් නැගී සිටින විට සතියත් සමාධියත් නැත. මෙසේ අඛණ්ඩ නොවු වැඩ පිලිවෙලක් නිසා හැමදාම භාවනා කරයි. හැමදාම එකම තැන ගත කරනු ඇත.


මේ මහා බරපතල පාඩුව මගහරවා ගැනීමට සෑම ඉරියාපථ සන්ධියක් ගැනම සතිමත් වියයුතුය. ඇවිදින කොට හෝ කරන ඕනෑම වැඩකදී වෙනස්වන ඉරියාපථ ගැන අවදානය මනා ලෙස තිබිය යුතුයි. සතිය නොකඩවා පවත්වා⁣ගෙන යෑමේදී එය පැහැර හැරීමේ ආදීනවයත් එය වැඩීමේ ආනිසංසත් මැනවින් සලකා ගතයුතුවේ. සතිය දියුණු කිරීම අප්‍රමාදය දියුණු කිරීමයි. එය හැම කුසලයකටම හේතුවේ. ඔබ යම් විහාරස්ථානයක වන්දනාමාන කටයුතු හෝ බුද්ධ වන්දනා කටයුතු සිදුකරන්නෙ අසතිමත්ව නම් එයින් කිසිදු ඵලක් නොවුනු ඇත. සතිය පිරිහීම ප්‍රමාදය දියුණු කිරීමකි. එය සෑම අකුසලයකටම මාර්ගයයි. මහා පරිහානි මාර්ගයයි. මෙසේ සලකා සිතින් තදින් අධිෂ්ඨාන කොට ගෙන සතිය දියුණු කරගත යුතුව ඇත. සතිය දියුණුවට පත්වී මෙන් සමාධිය දියුණුවට පත්වේ.සති- සමාධි දියුණු වීම භාවනාවේ දියුණුව බව සලකන්න.

තෙරුවන් සරණයි෴

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

සැබැඳි ලිපි : සමාධිය පිළිබඳව පරිපන්ථ කරැණු

Sidebar