සක්මන් භාවනාවට අවශ්‍ය මූලික උපදෙස් මාලාව

විපස්සනා භාවනා අසපුවෙන් ඉදිරිපත් කළ සක්මන් භාවනාවට අවශ්‍ය මූලික උපදෙස් මාලාව

විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී.

සක්මන් භාවනාවට බොහෝ වටිනා කමක් ලැබෙන්නෙ එදිනෙදා ජීවිතය හා දවසේ දින චරියාව සමග බද්ධව පවතින ඉතාවැදගත් කමකින් යුත් සුවිශේෂ භාවනා ක්‍රමයක් වශයෙනි. සක්මන් භාවනාවේ ආනිසංස චඞ්‌කමානිසංස සූත්‍ර දේශනයේ (බු.ජ.ත්‍රි.  ☸ / බු.ච.ස. ☸)  පහත පරිදි විස්තරවේ.

  1. දෙපා ශක්තිමත් වීම නිසා කායික පිඩාවෙන් තොරව දුර ගමන් යාමට හැකි වෙයි
  2. වීරිය වැඩීමට සුදුසු පුද්ගලයෙක් වෙයි.
  3. ආහාර දිරවීම පහසු කරවයි.
  4. රෝගාබාධ දුරුවී නිරෝගි කම ඇති කරවයි.
  5. සක්මන් භාවනාවෙන් ලබාගන්නා සමාධිය බොහෝ වේලාවක් පවතියි.

සක්මන් භාවනාවට ප්‍රවිෂ්ඨ වන ආකාරය

සක්මන් භාවනාව සදහා අඩුම තරමේ අඩි 20ක් වත් ඇවිද ගෙන යන්න පුළුවන් තැනක් අවශ්‍ය වනු ඇත. පොලොවට වැලි දමා සක්මන් මලුවක් සාදා ගත හැකි අතර නිවස තුල ලණු පැදුරක් නොමැතිව සිමෙන්ති පොලවේ හෝ ටයිල් පොලවේ සක්මන් කරනවා නම් හන්දිවල වේදනා ඇතිවන බැවිනි විනාඩි 30 කට සීමා කලයුතුවේ. නිවස තුල සක්මන් කරනවානම් රෙදිවලින් හෝ ලණු සැකසූ දිග පැදුරක් ඇත් නම් වැඩිකාලයක් සක්මන් කලහැකිය. සක්මන් භාවනාවට සුදුසු පරිසරය සකස් කරගැනීමෙන් අනතුරැවයි සක්මන් භාවනාව කලයුතු වන්නේ.

මුලින්ම කලයුත්තේ සක්මන් මලුව ආසන්නයට පැමින මම දැන් හිටගෙන ඉන්නවා කියන ඉරියව්වට හිත ගන්න එකයි කලයුත්තෙ. හිත යමකට මෙහෙයවන්නේ නැතිව ඉරියව්වට හිත පැමිනියේ නම් විනාඩි 5 ක් තරමක් වේගයෙන් එහාට මෙහාට ඇවිදින්න අවශ්‍යයි මොකද පාදවල හිරි කැඩෙන්න. එකකොට පාදවල රැධිර ධාවනය එහෙම හොදට වෙන්න පටන් ගනු ඇත. පසුව නැවත තමන් සිටිය තැනට ඇවිත් මම දැන් හිටගෙන ඉන්නවා කියන ඉරියව්වට හිත ගන්න එකයි කලයුත්තෙ. මේක තමයි මූලික පියවර වශයෙන් ආධුනිකයෙකුට හදුන්වා දෙන්න තියෙන්නෙ.
මූලික පියවරින් අනතුරැව සක්මන් භාවනා ආරම්භ කලයුතුයි.

යෝගාවචරයා හිටගෙන ඉන්න ඉරියව්වේ සිට තමන් කැමති පාදයකින් පලමුපියවර සතිමත්ව තබා සක්මන ආරම්භ කලයුතුවේ. මේ ආකාරයට වම්පාදය පොළොවේ ස්පර්ශවීම දකුණු පාදය පොළොවේ ස්පර්ශ වීම ගැන සිහිය පිහිටුවා ගනිමින් තමන්ට කැමති වේගයකින් සක්මනේ යෙදිය හැක. සක්මනේ කෙලවරේදි නැවත හැරී ඒ ආකාරයෙන්ම සක්මන් කලයුතුවේ. මෙහිදී යෝගාවචරයාට වම්පාදය හා දකුණු පාදය පොළොවේ ගැටෙන ස්භාවය හෝ පොළොවේ කෙටෙන ස්භාවය අත්දැක ගන්න පුළුවන් නම් ඇවිදීමේ ඉරියව්වේ හිත පිහිටා ඇත. එහිදී පාද පොළොවේ ස්පර්ශවීම විලුබේ ඉදන් පටන්ගන්නවාද නැත්නම් මුලු පාදයම එකවර පොලවේ වදිනවාද යන්න දැකගැනීමට හැකි වනු ඇත. සතිය ක්‍රමානු කූලව වර්ධනය වීමේදි පාදවල තද ගතිය, පොළොවේ තද ගතිය, පොළොවේ හා පාදය වල මෙලෙක් ගතිය, පොළොවේ උණුසුම් සිසිල් ගතිය, පොළොවේ තෙත ගතිය, කයේ සමබර ගතිය හා සමතුලිත ගතිය පියවරෙන් පියවර වෙනස් වන ආකාරය තමන්ටම අත්දැක ගැනීමට හැකිවන මට්ටමට සතිය මෙහිදී ක්‍රමානුකූලව දියුණු වනු ඇත. තවද වම්පාදයේ ස්පර්ශ දකුණු පාදයේ ස්පර්ශයට වඩා වෙනස් බවද වැටහෙනු ඇත.

කල්යාමේදි වම දකුණ වශයෙන්⁣ මෙනෙහි නොකර ස්පර්ශයන්ගේ ඇති වෙනස අනුව මේ තැබුවේ වම් පාදය බවත් මේ තැබුවේ දකුනු පාදය බවත් හදුනා ගන්න පුලුවන්නම් සතිය ඉතාම දියුණු මට්ටමකට වර්ධනය වී ඇත. එම සතිය කොතරම් ප්‍රබලද කියනවා නම් සාමාන්‍ය ජීවිතයේ ඇවිදින කොටත් ඒ වෙනස හදුනා ගතහැකි වනු ඇත. ආධුනිකයෙක් මේ මට්ටමට සක්මන් භාවනාව දියුණු කරගත හැකි නම් ඒක ලොකු ජයග්‍රහනයක් වනු ඇත. එක් වරක් මාසිටි ආරන්‍යයට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් මේ ආකාරයට සක්මන් භාවනාව කර වම් පාදය හා දකුණු පාදයේ ස්පර්ශයන්ගේ වෙනස් කම් 20 ක් වාර්ථා කරන ලදි. වෙනස් කම් 20 ක් ඉදිරිපත් කරන්න මොනතරම් සතියකින් සක්මන් භාවනාවේ යෙදෙන්න ඕනාද. සක්මන් භාවනාවෙන් සතිය දියුණු කරන්න මෙය ඉතා හොද ක්‍රමයකි. තව දුරටත් සතිය දියුණු වීමේදි පාදයන් එසවීම ගෙනයෑම තැබීම යන පියවරයන්ද සතිමත්ව දැකගන්න හැකිවනු ඇත. තවතවත් සතිය දියුණු වීමේදි තමන් නොව වෙන කෙනෙක් සක්මනේ යෙදෙන ආකාරයෙන් දැකගන්න හැකිනම් එය ඉතාම දියුණු මට්ටමකි. එහිදී කිසිම මෙනෙහි කිරීමකින් තොරව නිරායාසයෙන් සිදුවන සංසිද්ධියක්මෙන් දැක ගන්නට හැකි වනු ඇත. මේ අවස්ථාව ඉතා වැදගත් සංධිස්ථානයකි. පෙර සංසාරයේ කරන ලද භාවනා ස්මතුවි පෙනෙන්නට පුලුවන්. සමහර යෝගීන්ට ඇටසැකිල්ලක් ඇවිදගෙන යන ආකාරයට දැනෙන්ට හෝ පෙනෙන්නටත් පුලුවනි. එවිට මගේ කය කියන වැරදි සංඥාව බිදී යනු ඇත. මෙතනදී සමහර පිංවත් යෝගීන්ට සිතයි කයයි වෙන්වී නාම රෑප පරිච්ඡේදවී පෙනෙනු ඇත. එහිදී යෝගියාගේ කය අසලින් තමන්ගේම රෑපය ගමන් කරනු යෝගියාටම දැකගැනීමට හැකිවනු ඇත. මෙය සිදුවන්නෙ නාම රෑප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වන අවස්ථාවේදීය. ආධුනිකයෙකුට මෙපමන දුරකට දැනගැනීම කොහෙත්ම අවශ්‍ය නොවන අතර මූලික පියවර ටික බාදාවකින් තොරව අනුගමනය කරන්න පුලුවන්නම් එයින් සෑහීමකට පත්විය හැක. අනික් පියවරයන් කාලයත් සමග දියුණු වනු ඇත.

යම් යෝගියෙකුට වැඩි දුර විස්තර අවශ්‍ය නම් මේ ආකාරයට සක්මන් භාවනාව කර තමන් අත් දකින දෙය කමටහන් වාර්ථාවට ඇතුලත් කර vipassanalearningcenter@gmail.com ඊ-මේල් ලිපිනයට යොමු කරන්න෴

Sidebar