විදර්ශනා භාවනාවට අවශ්‍ය මූලික උපදෙස් මාලාව

විපස්සනා භාවනා අසපුවෙන් ඉදිරිපත් කළ විදර්ශනා භාවනාවට අවශ්‍ය මූලික උපදෙස් මාලාව

විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී.  විදර්ශනා භාවනාවට අවශ්‍ය උපදෙස් හා කමටහන් වාර්ථාව සකස්කර ගන්නා ආකාරය මෙහි දීර්ඝව සදහන් කර ඇත.

අපගේ භාවනා වැඩ සටහනේ ප්‍රධාන අර්ථය වන්නෙ සතිපට්ඨානය කෙරෙහි අවදානය යොමු කිරීමයි. සතිපට්ඨානය සුත්‍රය (බු.ජ.ත්‍රි.  ☸ / බු.ච.ස. ☸) කියෙව්වත් බොහොම ආනිසංස දායක මෙන්ම බෞද්ධයන් බොහොම ගරැකරන සුත්‍රයක්. නමුත් අපි මුලින්ම කතා කරන්නෙ සතිපට්ඨානය සුත්‍රය නෙවෙයි.මුලින්ම අපේ අවදානය යොමු වන්නෙ සතිය පිහිටුවීමට අවශ්‍ය මුලික උපදෙස් ටික ලබාදීමයි. මොකද අපි එදිනෙදා ජිවිත⁣යේදි වැඩි වශයෙන්ම අසතිමත් බාවයට ඇබ්බැහිවී ඇති නිසා සතිය හදුන්වාදීමේදි විශේෂයෙන් මේගැන කතාකරන්නට සිදු වෙනවා. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය සුත්‍රයේදි අරන්‍යගතෝවා, රැක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝව වශයෙන් පරිසරය ගැන විශේෂයෙන් පෙන්වා දී ඇත්තෙ. අරන්‍යගතෝවා කියන්නෙ වනලැහැබක් තුල ඉදිකරනු ලැබු කුටි සෙනසුන්.මෙය වඩාත්ම යෝග්‍ය වන්නෙ ස්වාමීන්වහන්සේලාට රැක්කමූලගතෝවා කියන එකත් ගහක් යට කියන එකයි. නමුත් ගිහි ඇත්තන්ට අරන්‍ය ගතවීම අපහසු නම් වඩාත්ම යෝග්‍ය වන්නෙ ශුන්‍යාගාර ගතවීමයි. මෙහිදී තමන්ගේ නිවස හෝ භාවනා ශාලාව වුවද කම්නැත. තමනගේ නිවස ශුන්‍යාගාරයක් බවට පත්කිරීමේදි නිවසේ රෑපවාහිනියේ ශබ්ද හෝ ගුවන්විදුලියේ ශබ්දය නැවත්වු විට එම ශබ්දයෙන් නිවස ශුන්‍යාගාරයක්බවට පත්වනු ඇත. නැත්නම් තමන්ගේ කථාබහ නැවැත්වු විට කථා බහෙන් නිවස ශුන්‍යාබාවයට ගත්වේ. නැත්නම් තමන්ගේ කාමරය ශුන්‍යාගාරයක් බවට පත්කර ගැනීමෙන් මේ ආකාරයට තමන්ගේ පරිසරය සකස්කරගත හැක.

ආධුනිකයන්ට මෙසේ වුවත් කල්යෑමේදි තමන්ට ඕනෑම තැනක ඕනෑම වෙලාවක සතිමත් බාවය පවත්වන්න හැකිබව තමන්ට තේරැම් ගියානම් එදාට පරිසරයට චෝදනා නොකරනු ඇත. බුද්ධ සාසනයේ නියම උරැමය ලැබෙන්නේ එදාටයි. නියම යෝගාවචරයා කියන්නෙ එයාටයි. මම තවම කාම ලෝකයේ නිසා හෝ තවම මම අරන්‍ය ගතනොවු නිසා කියා ලෝකයට චෝදනා කරන්නෙක් නම් ඔහු තවම සතිමත් බාව හදුනා නොගත්කෙනෙකි. එවැන්නෙකු ගේ අවබෝධ ගැනද කියන්නට දෙයක් ඇත්තෙම නැත. පරිසරය සකස්කර ගැනීමෙන් අනතුරැව ඊලඟට සතිමත් බාවය පැවැත්වීමේදී ඉරියව්වේ ස්භාවය අනුව කොටස් තුනකට භාවනාව බෙදී යනු ඇත. එනම් පර්‍යංඛ සක්මන හා එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත් බාවය පැවැත්වීමයි. ආධුනික යෝගාවචරයා මුලින්ම කලයුත්තේ පර්‍යංඛ(හිදගෙන) භාවනාවේදී සතිය දියුණු කරගැනීමයි. ඒ සදහා අවශ්‍ය ඉරියව්ව සකස්කරගැනීමට සතිපට්ඨාන සුත්‍රයේ සදහන් වන්නේ උජුංකායංපණිධාය කියන ආකාරයයි. එනම් පලගක් බැද හිද ගැනීමයි මෙයින් අදහස් වන්නෙ. මෙය තමන්ට අපහසු නම් කැමති ආකාරයකට හිදගත්තාට වරදක් නැත. නමුත් උඩුකය කෙලින් තබා ගත යුතුවේ. දැන් පරිසර හා ඉරියව්ව සකස්කර ගත්පසු සතිය පෙරමුනේ තබාගැනීමයි කල යුත්තෙ. එනම් අනෙකුත් චෛතසික ධර්ම අතර සතිය ඉදිරියෙන් තබාගැනීමයි මුලිකවම කලයුත්තෙ. එදිනෙදා ජීවිතයේ ඉදලා ඉදුරන් හා බැදිලා බාහිරට ගිය හිත සතිය වැඩීම ආරම්භ කරන කොට ඇතුළට ගැනීමයි කලයුත්තෙ. බාහිරට ගියානම් වික්ෂිප්ත මනසක්. මෙතනදී කලයුත්තේ පර්‍යංඛයේ වාඩිවෙලා තමන් සිටින ඉරියව්ව අරමුණු කර (ඉරියව්වට හිත ගැනීම) මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න පුලුවන්නම් ඒක තමයි සතිය වැඩීමේ මූලික පියවර වන්නෙ. එනම් ඉන්න ඉරියව්වෙ හිත පවත්වන එකයි මුලින්ම කල යුත්තෙ. තමන් ඉන්න ඉරියව්වෙ හිත පවත්වා ගන්න බැරිනම් මෙම භාවනාක්‍රමය ඔහුට හෝ ඇයට සුදුසු නොවනු ඇත. අවශ්‍ය නම් උත්සාහ කර බැලිය හැක. එවැනි අයට බුදු ගුණ වැනි අනුස්සති භාවනා ක්‍රමයකට යායුතුවේ. තමන් හිදගෙන ඉන්න ඉරියව්වෙ හිත පැවැත්විය හැකිනම් භාවනාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්.

මෙතනින් එහාට තව බොහෝ ඒකාග්‍රතාවයන් හා පෙල ගැස්වීම් රාශියක් ඇත. ඒවාට තමයි කමටහන් කියලා කියන්නෙ. මෙහිදී තව මූලික වැදගත් කරැණක් ඇත. එනම් මෙහිදී තමන් සමබර වාඩිවි සිටිදැයි පරික්ෂා කල බැලිය යුතුයි. කය පුලුවන් තරම් ලිහිල්ව හා සැහැල්ලුවෙන් තබාගෙන කයේ හිත පවත්වන්න පුලුවන්නම් එය ගැඹුරු භාවනාවක් වනු ඇත. මේක හදුන්වන්න පුලුවන් කායානුපස්සනාව නමින්. මුලින්ම ආධුනිකයෙක් වශයෙන් උත්සාහ කල යුත්තෙ පර්‍යංඛයේ වාඩිවෙලා පර්‍යංඛයේ හොදට පට්ටල වෙන එකයි. මේ සදහා කොපමන වෙලා ගියත් කමක් නැත. මේ ආකාරයට කයට (ඉරියව්වට) හිත අරගෙන ඇස් දෙක වහගෙන යමකට හිත මෙහෙයවන්නෙ නැතිව චේතනා පහල කරගන්නෙ නැතිව ප්‍රර්ථනා පහල කරගන්නෙ නැතිව කොටින්ම කය හොලවන්නවත් චේතනා පහල නොකර කය සම්පූර්ණයෙන්ම තැන්පත්වෙන්න ඇරලා බලාගෙන ඉන්න කොට තමන්ට දැනෙන්නෙ මොකක්ද කියලයි බලන්න තියෙන්නෙ. මේ ආකාරයට හිත තැන්පත් වනවිට බොහෝ වෙලාවට තමන්ගේ ප්‍රණය භවය අඛණ්ඩව පවතින බවට කුමක් හෝ ලකුණක් තමන්ට දැනෙනු ඇත. මෙයින් අදහස් වන්නෙ කයට හිත අරගෙන චේතනා විරහිතව බලන් ඉන්න විට තමන් මියගොස් නැති බවට, සිහිමූර්ඡා නොවුණු බවට තමන් ජීවත් වන බව දැනෙන්නෙ කොහොමද යන්නයි පරික්ෂා කරන්න තියෙන්නෙ. මේ මට්ටමට හෝ තමන්ට සිතයි කයයි තැන්පත් කරගත හැකිනම් සතිය වැඩීමේ මූලික පෙරහුරුව දැනටමත් සාර්ථක වී ඇත. මෙහිදී බොහෝ යෝගීන්ට තමන්ගේ කයේ තදගති බර ගති පොලවේ තදගති හොදින් අත් දැකිය හැක. සමහරැට කයේ යම් යම් තැන් වලින් වේදනා මතුවි එන්නට පුලුවන්.තවත් සමහරැන්ට අචේතනිකව හුස්ම ඉහල පහල යන බව තමන්ට වැටහෙනු ඇත. මෙහිදී තමන්ට වැහෙනදේ වැටහුනු ආකාරය නිවැරදි ලෙස කමටහන් වාර්ථාවට ඇතුලත් කල යුතුයි. සමහරැන්ට කය පැද්දෙන බව කම්පන චංචල බව ගැහෙන බවක් හෝ ස්පන්දනය වන බවක් අත්දැකිය හැක. මෙහිදි තමන් කිසිදු බියක් චකිතයක් ⁣නොගෙන හොදින් සියල්ල නිරික්ෂණය කල යුතුයි.මේ සියල්ලම එකවර දැනේ නම් වැඩියෙන්ම ප්‍රකට වන දැනිම පමනක් අරමුනු කල යුතුය.

කයේ වේදනාවක් වැඩියෙන් ප්‍රකට වේනම් වේදනාව ඇතිවන ස්ථානය ලක්ෂ යක් වශයෙන් අරමුණු කර සිතින් ඒදෙස හොදින් බලා සිටිය යුතුයි. එහිදී වේදනාව තමන් අත් දකින ආකාරය විස්තර කල යුතුයි. එනම් වේදනාව අනින ස්භාවයක් හෝ කපන කොටන පෙරලෙන ඇඹරෙන්නාක් මෙන් හෝ තමන් අත් දකින ආකාරය විස්තර කල යුතුය. ටික වේලාවකින් වේදනාව පහව ගි⁣යානම් ඊලගට තමන්ට වැඩියෙන් දැනෙන දෙය අරමුණු කලයුතුය. මේ ආකාරයට තමන් භාවනා කල පිලිවෙල පැහැදිලිව ඉදිරිපත් කල යුතුය.

චේතනා විරහිතව කය දෙස අවදානය යොමු කිරීමේදී තමන් හුස්ම ගන්න බව ප්‍රකට වේනම් කය අරමුණු කරනවා වෙනුවට හුස්ම ගැනීම අරමුණු කලහැකියි.මෙතනදී ආයාසයෙන් හුස්ම ප්‍රකට කර නොගතයුතු අතර එය ඉබේම ප්‍රකට වියයුතුය. මෙතනදී තමන්ට දැකගන්න පුලුවන් වෙයි හුස්ම ගැනීමේ වැඩ පිලිවෙල සිදුවන්නෙ උඩුකයේ බවත්, එවිට යටි කය අමතක කර උඩුකයේ පමනක් හිත තබා ගැනීම කල යුතුවේ. මෙහිදී උඩුකයේ වැඩියෙන්ම හුස්ම ප්‍රකට වන ස්ථානය තමන්ට දැක ගැනීමට හැකි වනු ඇත. මෙය බොහෝ වේලාවට නාසික අග්‍රයෙන් හෝ උදරයේ පිම්බෙන හැකිලෙන බවෙන් හුස්ම ගන්න බව ප්‍රකට විය හැකියි.නාසික අග්‍රයෙන් ප්‍රකට වේ නම් ආනාපානයට යන්න පුළුවන්,උදරයේ පිමිබීම හැකිලීම ප්‍රකට වේ නම් පිම්බීම හැකිලීම යන භාවනා ක්‍රමය කරන්න පුළුවන්. යම් කෙනෙක් මේ විස්තර ටික දැකගන්න මට්ටමට සතිය දියුණු කරගත්තා නම් එම ආධුනික යෝගියාට දැන ගන්න හැකි වෙනවා ආශ්වාසය වනවිට ප්‍රශ්වාසය සිදු නොවෙන බව. මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් සතිය තවත් පිරිසිදු කරගන්න පුළුවන්.මෙතනදී යෝගියාට ආශ්වාසයේ ප්‍රශ්වාසයට නැති විශේෂ ආවේණික ලක්ෂණ ඇති බවත්,ප්‍රශ්වාසයට ආශ්වාසය නැති විශේෂ ආවේණික ලක්ෂණ ඇති බවත් හදුනා ගන්න හැකිවනු ඇත. මේ ලක්ෂණ වලට ස්භාව ලක්ෂණ, සහ ලක්ෂණ, ගති, භාව ලක්ෂණ හා පුද්ගලික ලක්ෂණ කියන්න පුළුවන්. මේක තමයි ආධුනිකයෙක් වශයෙන් ආනාපානය හරහා යන්න පුළුවන් ඉහලම තැන. පිම්බීම හැකිලීම බලනවානම් එහි වෙනස වාර්ථා කල යුතුයි. තමන්ගේ කර්මස්ථානයේ විස්තර පුළුවන් තරම් මේ ආකාරයෙන් ඉදිරිපත් කල හැකිනම් තමන්ගේ සතිය බොහෝ සෙයින් දියුණුකර ගත හැකිය.

කමටහන් වාර්ථාව සකස්කිරීමේදි මෙම ලිපිය හොදින් කියවා තමන් තේරැම් ගත් ආකාරයට භාවනා කලයුතුවේ. මෙහිදී වෙනත් භාවනා ක්‍රම සමග මෙය පටලවා නොගත යුතුය. පර්‍යංඛ භාවනාවට වාඩිවි ඉරියව්වට හිත අරගත් ආකාරයත් තමන් එහිදී අත්දැක්කෙ කුමක්ද යන්න පිලිවෙලින් වාර්ථා කිරීම ප්‍රමානවත්වේ. ඊට අමතරව යමක් තමන් අත්දැක්කේ නම් ඒවාද ඇතුලත් කරන්න. යම් අසාමාන්‍ය අත්දැකීම් ලැබුනොත් වාර්ථාව කරන්න. භාවනාවට ගතකල කාලයද ඇතුළත් කරන්න. මේ ආකාරයට භාවන කිරීමේදී පෙර භවයන්හීදි කල භාවනා ක්‍රම ස්මතුවිය හැක. උදාහරණයක් වශයෙන් අට්ඨික සංඥා භාවනාව කර ඇත්නම් තමන්ගේ කය ඇටසැකිල්ලක් මෙන් පෙනෙන්නට හැකිය. එවැනි විස්තරද ඇත්නම් ඉදිරිපත් කරන්න. මේකිසිදු භාවනා අත්දැකීමකට බියනෙවීමට යෝගාවචරයා වගබලා ගතයුතුය. කමටහන් වාර්ථාව සිංහලයෙන් ඉදිරිපත් කරන්න. මේ ආකාරයට භාවනා කර තමන්ගේ කමටහන් වාර්ථාව යෝගීන් ඉදිරිපත් කරන ආකාරය කමටහන් ධර්ම දේශනාවට ඇතුලත් කර ඇති බැවින් එයද ශ්‍රවනය කරන්න. එවිට තව දුරටත් භාවනාවට යොමු වියයුතු ආකාරය හා කමටහන් වාර්ථාව සකස්කර ගන්නා ආකාරය තේරැම් ගැනීමට හැකිවනු ඇත.

කමටහන් වාර්ථාව, vipassanalearningcenter@gmail.com ඊ-මේල් ලිපිනයට යොමු කිරීමෙන් ඉදිරියට අවශ්‍ය උපදෙස් ලබාගනීමට හැකිවේ.
සක්මන් භාවනාවේදි හා දෛනික ජීවිතයේදී සතිය පැවැත්විය යුතු ආකාරය සදහා මේ ලිපිය (ToDo) කියවන්න ෴

 

Sidebar