ලෝකවිදූ සම්බුදු ගුනය
෴. සො භගවා ඉතිපි ලොකවිදූ .෴
“සත්තාවාසාදි සංකාතේ -කාම රූපාදි කේ කතා
සංකාර සත්ත මෝකාස – ලෝකේ යෝ වේදිතං නමේ”
අර්ථය –
* ස්ඛන්ධ ලෝක.
* ධාතු ලෝක.
* ආයතන ලෝක.
* අවකාස ලෝක.
* සංස්කාර ලෝක.
යනාදී කාම රූප අරූප භවත්‍රයම යෙහි සියලු ලෝ ධා පිළිබඳ වන සියල්ලම අතැඹුලක්. සේ දත් නිසා ලෝකවිදූ නමැති මා සම්මා සම්බුදු පියාණන් වහන්සේට.
මාඟේ නමස්කාරයද.
මාඟේ ජීවිතයද.
පූජාකරමී පූජාම වේවා.
අර්ථ –
මා තිලෝගුරු අප ලෝකනාථයන් වහන්සේ.මුළු විශ්වයම සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය ලෙස ත්‍රිවිධ ක්ෂේත්‍රයක් යටතේ අවබෝධ කර ගත් නිසාද ලෝකවිදූ නම් විය. මේ අනුව විශ්වය තුළ ජීවින් සිටින ලෝක, සකස් වෙමින් පවතින ලෝක, විනාශ වෙමින් පවතින ලෝක අනන්ත අප්‍රමාණව තිබේ. බුද්ධ දේශනාව ලෝක විෂය අචින්ත්‍ය බවයි. පෘථිවිට දිස්වන ඉර හඳ හා තාරකාවලට අමතරව, අපට නොපෙනෙන සූර්යයන් හා චන්ද්‍රයන් විශ්වයේ අප්‍රමාණ සංඛ්‍යාවක් පවතීන බවත් ලෝක ධාතු ගැන ෂස්ක්කර දේශනා කොට ඇත. ලෝක විෂය පිළිබඳ සම්මුතීන් වශයෙන් හැදෑරීම පාරක් තෙරක් නොමැති බවයි. විශ්වය පුරාවටම ඇත්තේ පරමාර්ථ ධර්ම 82කි. බඹයක් පමණ වූ තම ශරීරය තුලින් පරමාර්ථ ධර්ම 82කම අවබෝධ කල හැකි ක්‍රම වේදය පහදා දි ඇත.
ලෝකය ඉතා විශාලය. එයින් අප දන්නා ඉතා සුළු කොටසකි. නොදන්නා හරිය ම ඉතා බොහෝ ය. ලෝකයෙන් අප දන්නා හරිය දිය බිඳක් පමණ ය. නොදන්නා හරිය මහසයුර පමණය යි කිවද උපමාව හරි නැත. අප දන්නා හරිය එක් වැලිකැටයක් පමණය, නොදන්නා හරිය පොළොවේ වැලිකැට පමණය යි කිව ද උපමාව වැරදි ය. අප දන්නා හරිය නියපිටට ගත් පස් ටිකක් තරම ය, නො දන්නා හරිය පොළොවේ පස් පමණයයි කිව ද උපමාව හරි නැත. ලෝකයෙන් අප දන්නා නොදන්නා ප්‍රමාණ දැක්විමට උපමාවකුදු නැත. භාග්‍යවත් අර්හත් සම්‍යක් ‘සම්බුද්ධයන් වහන්සේ සකල ලෝකය සර්වාකාරයෙන් දැන වඳළ සේක. එබැවින් උන්වහන්සේ ලෝකවිදු නම් වන සේක.
සියල්ල දත් බව කියැවෙන සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දත් බව ද කියැ වේ. ලෝකය සම්මාසම්බුද්ධ පදයෙන් කියැවෙන සියල්ලට අයත් දෙයකි. එසේ තිබියදී මේ නවගුණපාඨයට ලෝකවිදු යනු ඇතුළත් කළේ කුමකටද? යන පැනය මෙහිදී මතුවෙයි. එහෙත් අටුවා ටිකාවල, පැරණි බණ පොත් වල ඒ ප්‍රශ්න විසඳා තිබෙනු නො දක්නා ලදී. එය පිළිබඳ අප අදහස මෙසේ ය.
ලෝකයෙහි සෙස්සන් ඒ ඒ දේ දැන ගන්නේ උගෙන ගන්නේ ගුරුන්ගෙනි. සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දන්නා බව කියැවෙන නුමුත් එය අසන්නහුයේ සිතට වඩා මතු වී දැනෙන්නේ තථාගතයන් වහනසේ දත් දෙය නොව උන්වහන්සේ ගුරුන් ඇසුරු නො කොට ස්වශක්තියෙන් දත්බව හා නිවැරදි ලෙස දත්බව ය. සෑම සත්ත්වයෙක් ම ලෝකයට අයත් ය, ලෝකයෙන් කොටසක්ය. එහෙත් සත්ත්වයෝ ලෝකය ගැන හා තමන් ගැන නො දනිති. තමන් ඇති වූයේ කෙසේ ද? තමන්ගේ අනාගතය කෙසේ ද? මරණින් පසු තමන්ට වන්නේ කුමක් ද? යන මේ කරුණු දැනගැනීමේ ආශාව බොහෝ දෙකනුන්ට ඇත්තේ ය. එබැවින් ලෝකවිදු යන ගුණය ඇසූ කල්හි ඔවුනට තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමේ ආශාව, උන් වහන්සේගේ දේශනා ඇසීමේ ආශාව ඇති වේ. එබැවින් මේ බුදුගුණ පාඨයට ලෝකවිදු යන පදය ඇතුළත් කරන ලදැ යි සිතමු.
ලෝකවිදු ගුණය විස්තර කළ යුත්තේ ලෝකය යනු කුමක් ද? ලෝකය සෑදී තිබෙන්නේ කුමකින්ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? ලෝකය කොතෙක් පරණ ද? ලෝකයේ විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද කවරහූද? යන මේ ප්‍රශ්න විසඳීමෙනි. ඉදිරියට මේ ප්‍රශ්න බුද්ධ දේශනය අනුව විසඳනු ලැබේ.
ලෝකය යි කියනුයේ සත්ත්වයන් වශයෙන් හා අසත්ත්ව වස්තු වශයෙන් ද, ධාතු වශයෙන් ද, ගුණ වශයෙන් ද, ඇත්තා වූ සියල්ලට ය.
ලෝකය සෑදී ඇත්තේ කුමකින් ද? යන බව ඉතා කොටින් කියතොත් ‘නාමරූප දෙකිනැ’යි කිය යුතු ය. නාම නම් සත්ත්වයන් තුළ ඇති වන දැනීම් විදීම් කිපීම් ඇලීම් ආදිය ය. රූප නම් මහා භූත සතර හා ඒවා නිසා පවත්නා වූ වර්ණ ගන්ධාදිය ය. ලෝකයෙහි හරය වශයෙන් ඇත්තේ පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාම රූප දෙකය.
තවත් ක්‍රමයකින් කියත හොත් බුදුසමයෙහි ස්කන්ධ යන නාමය ව්‍යාවාහර කරන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේවායින් ලෝකය සෑදි ඇතැ යි කිය යුතු ය. ලෝකය විභාග කළා ම එහි ඇති දේවල් සැටියට ලැබෙන්නේ ඒ ස්කන්ධ පඤ්චකය ය.
තවත් ක්‍රමයකින් කියත හොත් ද්වාදසායතනයන්ගෙන් ලෝකය සෑදී ඇත යි කිය යුතු ය. ආයතන දොළොස නම් චක්ඛායතනය, රූපයාතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායාතනය, ඵොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය යන මොහු ය. ආයතන වශයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ආයතන දොළොස ය.
තවත් ක්‍රමයකින් කියත හොත් අටළොස් ධාතුන්ගෙන් ලෝකය නිර්මිත වී ඇතය යි කිය යුතු ය. ධාතු අටළොස නම් චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාන ධාතු, සෝතධාතු, සද්දධාතු, සෝතවිඤ්ඤාණධාතු, ඝාණධාතු, ගන්ධධාතු, ඝාණවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤධාතු, මනෝධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු යන මොහුය. ධාතු ක්‍රමයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ධාතු අටලොස ය. මෙහිදී ස්කන්ධ ආයතන ධාතුන් විස්තර කළ යුතු වුවද, ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි විස්තර නොකරනු ලැබේ. ඒවා අභිධර්මය ග්‍රන්ථවලින් දත යුතුය. අප විසින් සම්පාදිඅභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා ක්‍රමය, චතුරාර්‍ය්‍ය සත්‍යය යන ග්‍රන්ථවලින් ද ඒවා පිළිබඳ දැනුමක් ලැබිය හැකිය.
ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසාය යි සිතූහ. වඩුවකු ඇඳක් – පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙකු උවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වඳළ සේක. බීජයෙන් ගසත් ගසින් බීජයක් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වු සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වඳළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වඳරා ඇත්තේය. එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවති. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවති. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවති.
යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස හි මුලක් නොලැබිය හැකි බව දැන වඳාළ සේක’. ‘අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති’ යනුවෙන් ‘මහණෙනි, සංසාරය නොදන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නොපෙනේ ය’යි තථාගතයන් වහන්සේ වඳාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය‘යි තථාගතයන් වහන්සේ වඳාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නොපෙනෙ නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසාය.
යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබු කාලයක් තිබිය යුතුය. එබදු කාලයක් නොවිය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබි පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබු නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්ථාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරි නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.
ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂ ගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි. දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ ‘පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ’යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ ‘බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ’යි වඳාළ සේක. ‘උපමාවකින් එය දැක්විය හැකිදැ’යි බ්‍රාහ්මණයා අසූ කල්හි ‘බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වඳාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වඳාළ සේක.
(අනමතග්ග සංයුක්ත)
දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ’යි ඇසීය. ‘මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමන වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය’ යි තථාගතයන් වහන්සේ වඳාළහ. ‘ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ’යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වඳාරන සේක් ‘මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය’යි වඳාළහ.
(අනමතග්ග සංයුක්ත)
ලෝකයේ විශාලත්වය මෙසේ දත යුතුය. එක් ලෝකධාතුවක හෙවත් සක්වළක භූමි එක් තිසක් ඇත්තේය. ඒ මෙසේය:- නරකය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, අසුරකාය කියා අපාය භූමි සතරකි.
මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජික භූමිය, තාවතිංස භූමිය, යාම භූමිය, තුෂිත භූමිය, නිර්මාණරති භුමිය, පරනිර්මිත වශවර්ති භූමිය කියා කාම සුගති භුමි සතක් ඇත්තේය.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මයයි ප්‍රථමධ්‍යාන භුමි තුනෙකි.
පරිත්තාහ, අප්පමාණහ, ආභස්සරය යි ද්වීතිය ධ්‍යාන භූමි තුනෙකි.
පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්ණය යි තෘතියධ්‍යාන භූමි තුනෙකි.
වේහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය කියා චතුර්ථධ්‍යාන භුමි සතක් ඇත්තේය. අවිහ-අතප්ප-සුදස්ස-සුදස්සී-අකනිට්ඨ කියා සුද්ධාවාස පසෙකි. මේ භූමි සොළස රූපාවචර භුමිහු ය.
අකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි අරූපාවචර භූමි සතරෙකි. මෙසේ භූමි එක්තිසක් වේ. සඤ්ජීව කාලසූත්‍රාදි වශයෙන් නරකය අටවැදැරුම් වේ. එක් මහානරකයක් අවට කුඩා නරක සොළොස බැගින් ද ඇත්තේ ය.
අංගුත්තර නිකාය තිකනිපාතයේ ද්වීතිය පණ්ණාසකයේ ආනන්දවග්ගයේදශවන සුත්‍රයෙහි දැක්වෙන ලෝකධාතු විභාගය අනුව ලෝකයේ විශාලත්වය සැලකිය යුතුය. එක් හිරකින් එක් සඳකින් ආලෝකවත් කරන ඉහත කී එක්තිස් භුමියකින් යුක්ත වන තැන එක් ලෝකධාතුවෙකි. එබඳු ලෝකධාතු දහසක් සහ ශ්‍රී ලෝකධාතු නම් වේ. චූලනී ලෝකධාතු නමුදු වේ. චූලනිකා ලෝකධාතු දහස දහසින් ගුණ කළ කල්හි දශලක්ෂයක් වෙයි. ඒ ලෝක දශලක්ෂය ද්විසහශ්‍රී ලෝක ධාතුව නමුදු වේ. මධ්‍යම ලෝක ධාතු නමුදු වේ. දශ ලක්ෂයක් වන මධ්‍යම ලෝක ධාතුව නැවත දහසින් ගුණ කළ කල්හි කෝටි ලක්ෂයක් වෙයි. ඒ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව නම් වෙයි. මහාසහශ්‍රී ලෝකධාතුවය නමුදු වෙයි. මේ සක්වළ හා මෙයට සමීපව පිහිටි සක්වළ නවසිය අනූනවය සහශ්‍රී ලෝකධාතුවය. එය ශ්‍රාවකයනට ද විෂය ය. සෘඬිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වළ දහසට ඇසෙන සේ කථා කළ හැකිය. ඒ සක්වල දහසෙහි ආලෝක අන්ධකාර පැතිර විය හැකිය. මේ සක්වල හා අවට පිහිටි දශලක්ෂයක් සක්වල ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවය. එය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රයයි ද, මහබෝසතුන්ගේ මවුකුස පිළිසිඳීම, එයින් බිහි වීම, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවැත්වීම, ආයුසංස්කාරය හැරීම, පරිනිර්වාණය යන අවස්ථාවන්හි ඒ මධ්‍යමලෝක ධාතුව කම්පිත වන බවද අංගුත්තර අටුවාවෙහි දක්වා තිබේ. අන් බොහෝ තැන්වල දැක්වෙන්නේ මහබෝසතුන්ගේ පිළිසිඳ ගැනීම් ආදියෙහි සක්වල දසදහසක් කම්පාවෙන බවය. මේ සක්වළත් සමඟ කෝටිලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය ය. එහි ආටානාටිය පරිත්ත, ඉසිගිලි පරිත්ත, ධජග්ග පරිත්ත, බොජ්ඣංග පරිත්ත, ඛන්ධ පරිත්ත, මෝර පරිත්ත, මෙත්තරිත්ත, රතන පරිත්ත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේ ආඥා බලය ඒ සක්වල කෝටි ලක්ෂයෙහි පවත්නා බැවින් ත්‍රිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වේ. ත්‍රිසහශ්‍රී ලෝකධාතුවෙන් ඔබ ඇති සක්වල සියල්ල තථාගතයන් වහන්සේගේ විෂය ක්ෂේත්‍රයය. එහි ප්‍රමාණයක් නැත්තේ ය. එය අනන්ත ය. ඒ සක්වල සියල්ලටම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකි ය. සැමතැනම වෙසෙන සත්ත්වයනට ඇසෙන සේ කථා කළ හැකි ය. චක්‍රාවාළයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේ ය. ‘කෝටි ලක්ෂයක් සක්වළවල බ්‍රහ්මලෝකය දක්වා පිරවීමට තරම් අබ ඇට ගෙන යම් කිසිවකු හමුවන හමුවන සක්වළට එක අබ ඇටය බැගින් හෙළමින් එක් දිශාවක් බලා ගමන් කළ හොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ සක්වලවල් අවසන් නොවේය යනු ඒ උපමාව ය. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන සේක.
සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි ද ලෝකය තෙවැදැරුම් වේ. සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වේ. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නමි. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වෙති.
රූපාදීන්හි ඇලී සිටින්නෝ ය යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ත්ව නම් වෙති. ‘ලෝකීයති එත්ථ කුසලාකුසලං තබ්බිපාකොචාති ලොකො’ යි දැක්වෙන පරිදි කූශලාකුශලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ත්ව සමූහය ලෝක නම් වේ. සත්ත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළොව-කඳු-ගස්-ගල් ආදිය ලෝක නම් වේ. ‘ලූජ්ජති පලූජ්ජතීති ලොකො’ යි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පලූදු වීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ‘ලෝකවිදු ’ නම් වන සේක.
‘සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො’ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති වන්නේ සත්ත්වයන් කෙරෙහි ය. එබැවින් සත්ත්වයෝ ම විඥානස්ථීතීහු නම් වෙති.
නානත්වකාය නානත්වසඤ්ඤීහු ය, නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය, ඒකත්වකාය නානත්වසඤ්ඤීහුය, එකත්වකාය එකත්ව සඤ්ඤීහුය, අකාසානඤ්චායතනූපගයෝ ය, විඤ්ඤාණඤ්චායතනූපගයෝ ය, ආකිඤ්චඤ්ඤායතනූපයෝග ය කියා විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වයෝ සත් කොටසක් වෙති.
කයෙහි හා ප්‍රතිසන්දි සංඥාවෙහි වෙනස්විම් ඇති සත්ත්වයෝ නානත්වකාය නානනත්වසංඤී සත්ත්වයෝය. මනුෂ්‍යයෝ ය, චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝක සයෙහි දෙවියෝ ය, ඇතැම් විනිපාතිකයෝ ය යන මොවුහු නානාත්වකාය නානාත්වසංඤීහු ය.
අනන්ත චක්‍රවාළයන්හි වෙසෙන සියලූම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථානාදියෙන් එකිනෙකට වෙනස් වෙති. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැතහ. නිවුන් දරුවෝ ද ඔවුනොවුන් බෙහෙවින් සමාන වතුදු සර්වාකාරයෙන් සම නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන් ද ඔවුහූ එකිනෙකා වෙනස් වූවෝය. එබැවින් සියලුම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්වසංඤීහූ වෙති, කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද නොයෙක් පැහැ ඇත්තෝ ය. නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිභේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය. එබැවින් ඔවුහු නානත්වකාය නාවත්වසංඤීහූ ය.
විනිපාතිකයෝ නම්, ප්‍රේතයන්ට ද අයත් නොවන, දෙවියන්ට සේ යස ඉසුරු නැති, සෑහෙන තරමට ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, චාතුර්මහාරාජිත දිව්‍යලෝකයට අයත් වන මේ මිනිස්ලොව ම හැසිරෙන දුප්පත් සත්ත්ව කොට්ඨාසයෙකි. ඔවුහු නානාවර්ණ ඇත්තෝය. නොයෙක් සටහන් ඇත්තෝ ය. ඇතැම්හු කෘෂයෝ ය. ඇතැම්හු ස්ථුලයෝ ය. ඇතැම්හු කුඩා සිරුරු ඇත්තෝ ය. ඇතැම්හු මහත් සිරුරු ඇත්තෝය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුකයෝ ය. ඇතමෙක් ද්විහේතුකයෝ ය. ඇතමෙක් ත්‍රිහේතුකයෝ ය. එබැවින් ඔවුහු ද නානත්ත්වකාය නානත්වසංඤීහූ ය, විනිපාතිකයන් දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් වුව ද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෝ මඟ පල ද ලබති. උත්තරමාතා නම් විනිපාතිකාව අනුරුදු තෙරුන් වහන්සේගේ ධර්මසජ්ඣායනාවක් අසා සෝවාන් වූ බවද , පුනබ්බසුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයා ද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දි සෝවාන් වූ බව ද යක්ඛසංයුත්තයේ දක්වා තිබේ.
ඔවුනොවුන්ට වෙනස් කය ඇති ව එක ම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය එකත්වසංඤීහු ය. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙහි බ්‍රහ්මයන් හා සතර අපායට අයත් සත්ත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇති සත්ත්වයෝ ය. බ්‍රහ්මපාරිසජ්‍යවාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත භූමි වාසින්ට ඇත්තේය. ඔවුන්ගේ කයට ද මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරිරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැම දෙනම පිළිසිඳ ගන්නේ ප්‍රථමධ්‍යාන විපාක සංඥාව නමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු ය. සතර අපායෙන් නරකයෙහි ඇතැම් සත්ත්වයන්ගේ ශරීරිය ගව් පමණ වේ. ඇතැමෙකුගේ ශරීරය අඩ යොදුන, යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුගෙන් ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝ ය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝ ය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝ ය. අනේක සටහන් ඇත්තෝ ය. ප්‍රේතයෝ ද එසේම ය. ඇතැම් ප්‍රේතයෝ සැටරියන් පමණ කය ඇත්තෝ ය. ඇතැම්හු අසුරියන් පමණ කය ඇත්තෝ ය’ දීඝපිට්ඨික නම් සැට යොදුනක් කය ඇති ප්‍රේතයන් ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානාප්‍රකාර වන ඔවුන් සැම දෙනම පිළිසිඳ ගන්නේ අකුශලවිපාකාහේතුක සංඥාව නමැති එකම සංඥාවකිනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු වෙති.
පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන ද්වීතීයධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරිරයෙන් සමාන වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිසිඳ ගන්නේ ද්විතීයධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමෙකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතියධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්තසඤ්ඤීහු ය.
පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණ යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. සෑම දෙනම රූපාවචර චතූර්ථධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. වේහප්ඵල භූමියෙහි බ්‍රහ්මයෝ ද සමාන ශරීර ඇත්තෝය. පඤ්චමධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ද ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිවිඥානයක් නොලැබෙන බැවින් එහි සත්ත්වයෝ මේ විඥානස්ථිති විභාගයට නොගන්නා ලදහ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝකසිණ භාවනාවෙන් චතූර්ථධ්‍යානය උපදවා එයින් නැගිට සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපති, වධබන්ධනාදි අනේක දුක් නැතය’යි සලකන යෝගීහු’ ධී චිත්තං ධී චිත්තං යි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමති ව කාලක්‍රියා කොට අසංඥ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපද කල්ප පන්සියයක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චල ව ජීවත් වෙති. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන ශුද්ධාවාසභූමිහු අනාගාමී, අරහත් ආර්යයන්ගේ වාසස්ථානයෝ ය. අනාගාමින් හා රහත්හු ලෝකයෙහි සැම කල්හි නැතහ. ඒවායේ වෙසෙන අනාගාමී, රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයෙහි බුදු කෙනකුන් පහළ නොවුව හොත් ඒ භූමි සිස් වන්නේය. සෑම කල්හිම ඒ භූමින්හි සත්ත්වයන් නැති බැවින් ඒවා මේ විඥානස්ථිති විභාගයට නොගත යුතුයයි ද කියති. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්න, වේහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය එකත්වසංඤී සත්ත්වයන් වශයෙන් ගත යුත්තාහ යි ද කියති. නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප භූමියෙහි, සත්ත්වයනට ඇතය යි ද නො කිය හැකි, නැතය යි ද නො කිය හැකි ඉතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්ත්වයෝ ද විඥානස්ථිති විභාගයට නො ගන්නා ලදහ. මෙ සේ සත්ත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන්නාහ.
කාමභවය – රූපභවය – අරූපභවය – සංඥාභවය – අසංඥාභවය – නේවාසඤ්ඤානාසඤ්ඤාභවය – ඒකවෝකාරභවය – චතුවෝකාරභවය – පඤ්චවෝකාරභවය යන නව වැදැරුම් භවන්ගේ වශයෙන් ලෝකය දැන වඳාළ හෙයින් ද, ලාභය – අලාභය – යශය – අයශය – නින්දාය – පසංසාය – සුඛය – දුඃඛය යන අෂ්ටාලෝක ධර්මය අනුව ලෝකය පරිවර්තනය වීම දැන වඳාළ හෙයින් ද , සත්ත්වයන්ගේ ආශය – අනුශය – චරිත – අධිමුක්ති දන්නා හෙයින් ද , අල්පරජස්ක – මහාරජස්ක – තීක්ෂණේන්ද්‍රීය – මෘද්වින්ද්‍රීය – ස්වාකාර – ද්වාකාර – සුවිඥාප්‍ය – දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය වශයෙන් සත්ත්ව ලෝක විභාග දන්නා හෙයින් ද, ස්වාභාව සමුදය නිරෝධ නිරෝධූපාය වශයෙන් ලෝකය දැන වඳාළ හෙයින් ද, තථාගතයන් ද වහන්සේ ලෝකවිදු නම් වන සේක.
?️?️?️වඳිමු ඒ ලෝකයේ නැතහාත් සමස්ථ විශ්වයේම විදු ඇස වූ ලොක විදූ සුගතතථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ …?️?️?️
??????????????????
ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝක විදූ නම් වන සේක.
1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වේදනාස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාරස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාණස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක ස්වභාවය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක සමුදය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක නිරෝධය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක නිරෝධ උපාය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්වලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු සත්වයෝ ආහාරය පිහිට කොට ඇත්තේයැයි එක් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නාම රූප නම් වූ දෙවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ත්‍රිවිධ වේදනා (සුඛ, දුක්ඛ, උපේක්‍ෂා) නම් වූ තෙවැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතර ආහාර නම් වූ සතර වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක. (කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර)
16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධ නම් වූ පස්වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අධ්‍යාත්මික ආයතන සය නම් වූ (චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන) සය වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ත විඤ්ඤාණට්ඨිති නම් වූ සත් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අෂ්ටලෝක ධර්මය නම් වූ අෂ්ට වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ සත්තාවාස නම් වූ නව වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස ආයතන නම් වූ දස වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දොළොස් ආයතන නම් වූ දොළොස් වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අටලොස් ධාතු නම් දහ අට වැදෑරුම් ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ව ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතර අපාය (නරක, තිරිසන්, අසුර, ප්‍රේත) අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මනුලොව, සදෙව්ලොව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රූපලෝකය (බඹලොව 16) අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරූප ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නෙව සඤ්ඤා නාසඤ්ඤා ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකවෙකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතු වෝකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංචවෝකාර ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවකාශ ලෝකය අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මේ ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස දහසක් ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කෝටි ලක්‍ෂයක් ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනන්ත ලෝක ධාතුව අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වන සේක.
මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!
මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!
මාගේ බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක!
සාධු…..! සාධු…..! සාධු……!
නමස්කාර වේවා.
මෙසේ “ලෝකවිදූ” සම්බුදු ගුනයෙන් සමන්වාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකාන්තයෙන්ම. ” ලෝකවිදූ ” සම්බුදු ගුන සපිරි උතුම්ම උතුමාණෝ වන සේකමය. එසේ හෙයින් “ලෝකවිදූ ” නම් සම්බුදු ගුණයෙන් සමන්වාගත මඟේ අමාමෑණී වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට.
මාඟේ නමස්කාරයවේවා
මා දිවියද සදා පූජාකරමී
පලමුවද පූජාකරමී පූජාවේවා
දෙවනුවද පූජා කරමී පූජාවේවා
තෙවනුවද පූජාකරමී පූජා ම වේවා.
සාධු.!.?සාධු.!!.??සාධු .!!!???
? මනසිකාර කරනා ක්‍රමය.
( 1 ) ලෝකවිදූ යනු යනුවෙන් හදුන්වන්නේ හදුන්වන්නේ කුමක්ද?
( 2 )ඒ ලෝක ලෝකවිදූ කියන ගුණය මහා මහා බෝසතාණන් වහන්සේ තමන් තුළ ඇති වීමට අදාළ හේතු සසර තුලදී සකස් කර ගත්තාද?
( 3 )ඒ සකස්කරගත් හේතූන්ගේ ඵලය ලොව්තුරා බුද්ධ චරිතය තුළ විද්‍යමාන වූයේද?
සාධු?සාධු??සාධූ??
මේ අතිතුම් සම්මා සම්බුදු ගුනකඳ අපටත්
ආදර්ශය වේවා..
සහ
ආදර්ශ කරගමු
මා ඔබ අප සැමට
? මා ගනිමි ආදර්ශ.
සියලු විද්‍යා පරතෙර ගොස් උතුම් චරණය පලකෙරූ..
මමද සම්බුදු සමිඳු අනුවම දරමි විද්‍යා අති ගරූ
චරණයෙන් ලෝ බබලවන්නෙමි සැම දනන් සිත් සනසමින්.
??ආශිර්වාද වේවා මට ඔබට අප සැමට සමසේ.
??????????????????
?️ සම්බුදුගුණ?️
? ආශිර්වාද ප්‍රාර්ථනා
????? සත්‍යක්‍රියා….?????
මේ උතුම් මනසිකාරය තුල මා ඔබ සරන ගිය මහා මහොත්තම සම්මා සම්බුදු සමිඳුන් ගේ අපරිමිත සීලයේ ගුන සුවඳ හදට දැනෙනු ඇත.
ඒවා නිකන්ම හුදුසීල් නොවන්නේ එහි මුල මැඳ අග යන තුන් තැනම ඉතා නිවැරදිම හා පරිපූර්ණම වැඩ පිලිවලකින් යුතු නිසයි.කෙසේ වෙතත්.
ලොව්තුරු සම්බුදු පියාණන් වහන්සේටවත් සමාන වෙනත් ශාස්තෘවරයෙක් වත්.
එ් ශ්‍රී සද්ධර්මයට සමාන වෙනත් සද්ධර්මයක් වත්.ඒ උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට සමාන උතුම් ශ්‍රාවක පිරිසකවත් මේ විශ්වයේ. කොතනකවත් නැත.
මෙය ඒකානත සත්‍යයක්මයි මෙය දෙවියන් බඹුන් මරුන් සහිත මේ සමස්ත විශ්වයේ කිසිවෙකුටවත් කරුනු සහිතව සාධක සහිතව ප්‍රතික්ෂේප කල නො හැකි දෙයකි.මෙය ඒකාන්ත සත්‍යයක් මයි මේ සත් බෙලෙන් යහපතක් ම වේවා ඔබ අප සැමටම
මෙසේ මෙසේ ” ලෝකවිදූ” ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදු හිමි ගුණයද සත්‍යක් මයි ඒ සම්බුදු ගුන සත්‍යනුභාව බෙලෙන්ද ඔබ සැමටත් සකල ලෝ වාසීන්ටත්.පිරිසුදු ව බබලන.
දෙව් මිනිසුන්ද ඉක්මවිය හැකි.
නිවන් අමතයෙන් නිති සැනහෙන.
අතුල්‍ය වූ අසමාණ වූ.
අවබෝධයෙන් පිරිපුණ්.
අණන්ත තේජසින් යුතු.
අසත්‍යට නො නැමෙන.
අනභිභවණිය වූ.
නිකෙලෙස් උත්තම සිතක් පිණිසත්.
අප්‍රමාන සීල ගුණයෙන් යුතු සිතක් පිණිසත්.අසරණ හැම විටකම සරනක ලැබෙන්නටත්
කිසිදු අයහපතකට මැඬ නොපැවැත්විය සිතක් පිණිසත්. හැකි ප්‍රහීන නොවන ගුනැති. සිතක් පිණිසත්.
නිති කෙලෙසුන්ගෙන් තොර මනා අවබෝධයෙන් පිරිපුන් උතුම් හැසිරීමෙන හා දැනුමින් යුතු
දහමින් ප්‍රභාවිත විශිෂ්ඨ සිතක් පිණිසත්.
විශිෂ්ඨ දර්ශනයෙන් හෙබි උතුම් නිවුනු සිතක් පිණිසත්. හැම මමායනයෙන් තොර සහ හැම කෙලෙස් මල රහිත වූ හැම යහපත් කිත් පැසසුම් ලබනා සිතක පිණිසත්.
සුන්දර වූ නිවන් මඟ සුන්දරවම ගමන් කිරීමට බල පිණිසත්.
නිති මැනවින් සංවර වූ ආර්‍ය සීලී සිතක් සහිත වීම පිණිසත්
අසත්‍ය කිසිවිට නො පවසන සිතක් පිණිසත්.
අසම සම අසදිස උතුම් චරිතයක් පිණිසත්
හැම සැකයෙන් තොර වූත්.ශෝකයෙන් තොරවූත්
නුවනැත්තන්ගෙන් ප්‍රශංසා ලැබිය යුතු අන්දමේ මෙත් සිතක් සහිතවීම පිණිසත්.
මනා සතියෙන්ම සිත නිති පැවැත්විය හැකි.අන්‍යන්ද තම සිතද නිති මැනවින් හික්මවාගත හැකි.ස්භාවයක් පිණිසත්.
කිසිවකට මැඩපැවැත්විය නොහැකි බිය නොවන උතුම් නිර්භයසීලි අසහාය සිතක් පිණිසත් හේතුවේවා.
මැනවින් හික්මුණු අජානීය වූ..අසමාන ප්‍රඥ්ඤාවක් සහිත සිතක් පිණිසම හේතුවේවා…
නික්ලේශී සිතැති උතුමෙකු වන්නම ලැබේවා…
අපගේ සිල් රුව ගුණ ණැන සුවඳින් මුලුමහත් විශ්වයම ආලෝකමත් වේවා.සුවඳවත් වේවා එයින්ම බැබලේවා..
වෙනත් පහත් ජාති කුල මානාදියෙන් බැබලීමට උත්සාහ නොකරන්නෝ වෙත්වා……
සුගත සම්බුදු සුන්දර මඟ පෙන්වීම හැමවිට මට අපට හැමවිටම සසර වේවා හැමවිටම සියල්ලම මැනවින් අවබෝධ කිසිවක් ආවරණ නො වේවා
සියල්ලන්ටම හා සියල්ලට නායක කුල සහිත ගුණ සහිත මැනවින් දමණය වූ ඍජුවූ කයක් මනසක් පිණිස ම වේවා……..
ආහාර සමුදය වැටහේවා…
පෙර විසූ කඳ පිලිවෙලද වැටහේවා..
ආලෝකමත් දිවියක්ම වේවා…
නොයෙක් ඉර්ධීන්ගෙන් යුතු දිවියක්ම වේවා.
හැම සැකආදී දුරුකල යුතු දෙය දුරුවේවා.
ප්‍රහීනකල යුතු දෙය ප්‍රහීන වේවා..
කාමයන් ගැන නෙත් නො යේවා.
කාමය අභිභවනය වූ අතිඋතුම් වූ
කාමාභිභූ දිවියක්ම වේවා.
අපිස් බව නිති සිත රැඳේවා.
හැම ආශ්‍රවයන් නසන නුවනින් යුතු දිවියක්ම වේවා
කර්‍ම හා විපාකයන් ගැන සිතේවා…
හුඳකලා සුව දැනේනා දිවියක්ම වේවා.
නිති හිස මත අමා සද්ධර්මයම පවතීවා…
නිති හැමටම කළණ දසුනක්ම වේවා…
නිති සැබෑ අවිහිංසාවාදී ගුනෙන් යුතු වෙත්වා.
ඒක පුද්ගල වූ උත්තමණිය ජීවිතයක් ම වේවා..
හැම රෝගයන් ගෙන් මිඳූනු
එයට මඟ දත් සහ මඟ පෙන්වන ගුන වැඩේවා
නිවන් මඟ දක්ෂ වේවා.
හැමට ප්‍රිය ගුන වැඩේවා…
නිවන් මඟ නිති දර්ශනය වේවා..
මහ කුළුනු ගුන සිත වැඩේවා…
කලගුන දන්නා බව නිති සිත රැඳේවා
කිසිවකින් කිසිවිට නො සැලෙන
තාදී සිතක සැනසුම නිති ඔබ හද පවතීවා.
සැම සිත් වැටහේවා…
නිති උතුම් හැසිරීමෙන් ලොව සරන්නට ලැබේවා.
රන්වන් කයක් රන්වන් ගුන කයක්ද වේවා.
කෙලෙස් අඳුරින දුරුවූ සිතක් කයක්ම වේවා..
ඒ පිණිස මේ සම්මා සම්බුදු ගුණකඳහි ආශීර්වාද පුණ්‍යබලය ඒකාන්ත සත්‍යයක්‍රියාවක්ම වේවා..
බුදුගුණ අනන්තයි…
සදහම් ගුණ අනන්තයි…
මහසඟ ගුණ අනන්තයි…
ඒ අනන්තරවූ බුදු ගුණ බලයෙන්ද …
අනන්ත සදහම් ගුණ බලයෙන්ද…
අනන්ත මහ සඟගුණ බලයෙන්ද…
අනන්ත මව්පිය ගුණ බලයෙන්දඅනන්ත.
අාචාර්‍ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද.
අනන්ත මග බෝසත් ගුණ බලයෙන්ද
අනන්ත අාර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද.
අනන්ත අාර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද
මාගේ සීල සමාධි ප්‍රඥ්ඤා දී ගුණ බලයෙන්ද
ඔබ සැම නිදුක් වෙත්වා !.
නිරෝගි වෙත්වා !.
සුවපත් වෙත්වා !.
මාගේ මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝ ඔබ සැම කලණ මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මනුෂ්‍යයෝද සියලු සත්වයෝද
නිදුක් වෙත්වා !.
නිරෝග වෙත්වා !.
සුවපත් වෙත්වා !.
අායුෂයෙන් වැඩෙත්වා !.
වර්ණයෙන් වැඩෙත්වා !.
සැපයෙන් වැඩෙත්වා !.
කාය බලයෙන් වැඩෙත්වා !.
ඥාන බලයෙන් වැඩෙත්වා !.
සුවසේ නිදත්‍වා !.
සුවසේ පිබිදෙත්‍වා !.
දෙවි මිනිසුන්හට ප්‍රිය වෙත්‍වා !.
දෙවි බඹුන්ගෙන් අාරක්‍ෂාව ලබත්‍වා !.
ගුණයෙන්,නුවණින් වැඩෙත්වා !.
යසසින්,ඉසුරෙන් වැඩෙත්වා !.
සැපතින්,සම්පතින් වැඩෙත්වා !.
හිරි,ඔතප් ගුණයෙ වැඩෙත්වා !.
ශ්‍රද්ධාවෙන්,සීලයෙන් වැඩෙත්වා !. ශෘතයෙන්,ත්‍යාගයෙන් වැඩෙත්වා !.
ඥානයෙන්,අවබෝධයෙන් වැඩෙත්වා !.
සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා !.
ශාන්තියෙන්,ඉවසීමෙන් වැඩෙත්වා !.
සැනසුම් සුවයෙන් වැඩෙත්වා !. මෛත්‍රියෙන්,කරුණාවෙන් වැඩෙත්වා !.
මුදිතාවෙන්,උපේක්‍ෂාවෙන් වැඩෙත්වා !.
සමථ,විදසුන් නුවණින් වැඩෙත්වා !.
සියවස් කාලයක් දීර්ඝායුෂ වළඳත්‍වා !.
දෙලොව සුභ සෙත ලබත්‍වා !.
සියළු සත්‍වයෝ සුමිහිරි නිවන් සැපතින් සුවපත් වෙත්‍වා !.
සුවපත් වෙත්‍වා !..
සුවපත් වෙත්‍වා !..
සම්මා සම්බුදු සරණයි ….!!!
~ කල්‍යාණ මිත්‍ර අමිල රුවන්