යෝගාවචර ජීවිතය

ශ්‍රේෂ්ඨතම යෝගාවචරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය. යෝගාවචර ජීවිතය ඇරඹෙන්නෙ උන්වහන්සේ ගෙනි. බුදුරජාණන් නමක් උපදින්නෙ ඉතාම කලාතුරකිනි. උන්වහන්සේගේ ධර්මය අසන සියල්ලෝම යෝගාවචර ජීවිතයට ඇතුලත් නොවේ. ඉන් ටික දෙනෙකු පමණයි ඒ ජීවිතයට ඇතුලත් වෙන්නෙ. තමාද ඒ භාග්‍යසම්පන්න ටික දෙනාගෙන් කෙනෙකුයයි සිතා සතුටු විය යුතුයි. ගිහිගෙය හැර යන අදහස නම්වූ නෛෂ්කම්ම්‍ය චේතනාව යම් දවසක යෝගාවචරයා තුල හට ගත්තේ නම් ඒ විශාල චෛතසික බලවේගයක් නිසා සිදුවන්නකි. ඒ ගැන යෝගාවචරයා විශේෂයෙන් සිහිපත් කල යුතුය. ධර්මය ඇසීම නිසා ඇති වන ලොකු චෛතසික බලවේගයක් නෛෂ්කම්‍ය ශක්තියක් නිසා මව්පිය, අඹුදරු, නෑ හිතවතුන් හා වස්තු අතහැර යාමට හැකි වූයෙන් එම ශක්තිය කඩා නොගත යුතුය. යෝගාවචර ජීවිතයේ අවස්ථා හතරකි.

  1. ගිහිගෙයින් නික්මෙන අවස්ථාව.
  2. විවේක ස්ථානයට වී කර්මස්ථානයක නිරත වන අවස්ථාව.
  3. කමටහන වැඩීමේ දී ඇතිවෙන ගැටලු විසදා ගැනීම.
  4. භාවනාවෙන් ප්‍රතිඵල ලබන අවස්ථාව.

විතර්ක සහිත සිතට නිග්‍රහ කරගෙන ඒවායින් ජයගත් මේ අවස්ථාවේදී යෝගාවචරයා දෙස බලන්නෙකුට මොහු වටිනා කෙනෙකු යැයි සිතේ. එවිට දෙවියන් සහිත ලෝකයා ඔහුට වැදුම් පිදුම් කරන්නට එනු ඇත. යෝගාවචර ජීවිතය වටිනා වූද, එමෙන්ම ප්‍රවේසමෙන් ගත කලයුතු ජීවිතයකි. මේ වටිනා අදහස් සිහිපත් කරගනිමින් හැමවිටම සිත අලුත් කරගෙන ජීවිතය ගෙන යා යුතුය. 

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

Sidebar