කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 5

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි.

කමටහන් වාර්ථාව

ඔබ වහන්සෙ සදහන් කල අයුරින් කයෙහි දුක් ගැන මින් පෙර නොතිබූ අවබෝධයක් දැන් තිබෙනවා. බොහෝ කල්‍යාණ මිත්‍රයන්, පොතපත ඇසුරින් බොහෝ දේ ඉගෙන ගත්තා.

අනුමාන වශයෙන් දැන සිටි “තමාගෙ කයම දුක් බව” ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මා දැන් දන්නවා. මෙතන ඇති කයත් එතන ඇති කයත් මහා දුක් ගොඩක් ලෙස වැටහෙනවා. අනුමාන වශයෙන් දැන ගැනීමම මා පිළිබඳ මානය අඩු කර ගැනීමට උදවු වුනා. දැන් මේ ප්‍රත්‍යක්ෂ වැටහීම සියළු මානයන් නැති කර ගැනීමට උපකාර වෙනවා. ඒ පිළිබඳ අත්දැකීම ඉතා විශාල සැනසීමකි. අන් අය මා කෙරෙහි විශේෂත්වයක් දැක්විය යුතු බව ආදී අතීතයේ තණ්හාවෙන් ආශා කළ දෙයිහි අසාරත්වය වැටහෙනවා. අතීතයේ මා ඉතා ගැටුම් කාරී චරිතයකි. අද මා ඉතා තැම්පත් අයෙකි. එකම ඉරියව්වක් තුල සැප දුක් දෙකම විදිමින් මෙ වැටහෙන්නේ බුදුරජාණන් වදාළ දුක්ඛාර්ය සත්‍ය බව තහවුරු වුනා. මෙම උත්සාහයෙ යම් දියුණුවක් ඇති බව හටද වැටහුනා. ඔබ වහන්සෙගේ පිළිතුරු ලිපියෙන් ඒ බව තහවුරු වුනා. නමුත් නැවත ආධුනිකයෙකු ලෙස භාවනා කිරීමටයි බලාපොරොත්තුව.

මා මේ කරන භාවනාව සතර සතිපට්ඨානයෙ කොටසක්ද?

පිළිතුරු ලිපිය 

කල්පනා කිරීම හා අවදානය යොමු කිරීම අතරවෙනස මෙසේ තේරැම් ගැනීමට හැකියි.
භාවනාවේදී වේදනාව එන ලක්ෂය පිලිබදව සතියෙන් බලා සිටින විට එම වේදනාව ඇතිවෙන ආකාරය වර්ධනය වන විදිහ එහිදී ඇති වන වෙනස් කම් ඔබ අත් දකී නම් එය තවදුරටත් වැඩිවී ටික වෙලාවකින් නැතිවී යන බවත් ඔබ වාර්ථාව කරයිනම් එහිදී වේදනාව පිලිබදව සතිමත් බවක් හෝ අවදානයෙන් සිට ඇත. නමුත් ඒ අතරතුරේ ඔබ විසින් මගේ තුනටිය රිදෙනවා, මගේ කකුල රිදෙනවා යන්න ඊලගට මගේ බෙල්ල රිදෙනවා යන්න සිතූගමන් එතනදී සතියෙන් ඉවත් වී කල්පනාවකට වැටෙනු ඇත. එවිට වෙනදේ ගැන ඇති අවදානයෙන් ඉවත්වී දේෂ චෛතසිකයක් කියාත්මකවන්නට පටන්ගනී. එතනදී ඇත්තටම වන්නෙ මගේ නොවන වේදනාව මගේ කරගැනීමයි. බලන්න ආහාර ගන්නවිට එම ආහාර දිවහරහා උගුරට යන ඒ පොඩි කාලය තුල ඇතිවෙන රස වේදනාව මගේ වන ආකාරය. ඊලගට කනේ ඇතිවෙන කම්පන සංඛ්‍යත මගේ කරගන්න ආකාරය. මේවිදිහට ඉන්ද්‍රියන් හරහා ඇතිවන ස්පර්ශ වේදනාවන් මගේ කරගන්නෙ බාහිර කල්පනා තුලිනි. නමුත් අවදානයෙන් සතියෙන් සිටින ඕනෑම වෙලාවක මගේ කියලා ගන්න දෙයක් තියෙනවාද . හැමදේම ඇතිවී නැතිවෙලා යන සංස්කාර ගොඩක් බව හොදටම තේරෙනු ඇත. ඔබ විටෙක කයේ ඉරියව්වට අවදානය යොමු කරනවිට කායානුපස්සනාවටද වේදනාව ඉස්මතුවන විට වේදනානුපස්සනාව හරහා භාවනාව යනු ඇත. ඒ කියන්නෙ සතරසතිපඨානය තමයි. මේ ගැන සෙවීමෙන් වලකින්න. ඔබ කලයුත්තෙ ගැරැ උපදෙස් පිලිපැදීම පමණි.

තෙරුවන් සරණයි෴

(විපස්සනා භාවනා අසපුව facebook (@Dhammabo) පිටුවෙන් අවසරය සහිතව උපුටා ගන්නා ලදී. )

Sidebar