ධර්ම කරුණු ගැන කතා කළ නොහැකි පස්දෙනා
ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ දුක්කථා සූත්රයේ දී වදාළ, පුද්ගලයන් පස් දෙනකු සමග කථා පවත්වන්න බෑ කියලා. එසේ කළොත් ඒ කථාව දුෂ්කර කථාවක් වනවා. එය කිපෙනවා, නොසතුටමයි පළ කරන්නේ, කියලා උන්වහන්සේ වදාළ.
1. අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා
ශ්රාද්ධාව නැති කෙනෙක් එක්ක ශ්රද්ධාව ගැන කථා කරන්න බෑ. ඒක දුෂ්කර කථාවක් වනවා. ශ්රද්ධාව කියන්නේ පොඩි දෙයක් නොවේ. මනුෂ්යයකුට තිබෙන උතුම්ම ධනය ‘ශ්රද්ධාව බව‘, භාග්යවතුන් වහන්සේ ආළවක සූත්රයේ දී වදාළහ. ආළවක යක්ෂයාගේ භවනට වැඩම කළ භාග්යවතුන් වහන්සේගෙන් ආළවක ඇසූ මුල්ම ප්රශ්නය තමා,
කිංසුධ විත්ථං පුරිසස්ස සෙට්ඨං
පුරුෂයකුට ඇති උතුම්ම ධනය කුමක් ද? යන්න. භාග්යවතුන් වහන්සේ වදාළා
සිද්ධීධ විත්ථං පුරිසස්ස සෙට්ඨං
ශ්රද්ධා ධනයයි, පුරුෂයකුට උතුම්ම ධනය වන්නේ, කියලා.
බලන්න, ලෝකයේ මේ උතුම්ම ධනය වන ශ්රද්ධාව ගැන, එය නැති කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එයා කිපෙනවා. (කුජපති) ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාරන්නට යෙදුණු මෙම බුද්ධ ශාසනය ‘මන්දිරයක් නම්, ඒ මන්දිරයට ඇතුළු වන දොරටුව තමා, ශ්රද්ධාව.
යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරේ අචල ශ්රද්ධාවට පැමිණියහොත්,
සබ්බේ තේ සග්ග පරායණා
ඒ සියල්ලෝම සුගතියේ උපදින බව භාග්යවතුන් වහන්සේ වදාළහ.
2. දුස්සීලස්ස සීලකථා දුක්කථා
දුස්සීල කෙනෙක් එක්ක ශීලය ගැන කථා කරන්න බෑ. එයා අප්රසාදයත්, නොසතුටත්, පළ කරනවා, ඒක දුෂ්කර කථාවක්, ශීලය කියලා කියන්නේ සියලු යහපත් ගතිගුණ වලට අම්ම කෙනෙක් වගේ මුල් වන පිළිවෙතටයි. ඒ නිසා, ශීලය පිරිසුදුව තබා ගත යුතුයි.
ඒකෝ මග්ගෝ නත්තඤ්ඤු දස්ස නස්ස විසුද්ධියා
කෙළෙසුන්ගෙන් පිරිසුදු වීමට තිබෙන ඒකායන මාර්ගය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි යන්නයි එහි තේරුම. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, ප්රඥා වශයෙන් පිළිවෙළින් වැඩිය යුතු එකක්, මහාපරිනිබ්බාන සූත්රයේ දී භාග්යවතුන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි, සීලයෙන් ප්රගුණ කරන ලද සමාධිය මහත්ඵලයයි. මහානිශංසයි. සමාධියෙන් ප්රගුණ කරන ලද ප්රඥාව, මහත්ඵලයි, මහානිශංසයි, ඒ ප්රඥාවෙන් තමා, මනා කොට ආශ්රවක්ෂය කරන්නේ කියලා. ඉතින් ඒ තරම්ම වැදගත් වූ සීලය ගැන, දුස්සීල අයත් එක්ක කථා කරන්න බැරි බවයි භාග්යවතුන් වහන්සේ දුක්කථා සූත්රයේ දී වදාළේ,
03. අප්පස්සුතස්ස බාහුසච්චකථා දුක්කථා
ධර්මඤාණය නැති කෙනෙක් එක්ක විස්තර ඇතිව දහම් කරුණු කථා කරන්න බෑ. ඒක දුෂ්කර කථාවක් වනවා. පඨම නාථකරණ ධම්ම සූත්රයේ දී භාග්යවතුන් වහන්සේ වදාළා, බහුශ්රැත බව, කෙනකුට, අනාථ නොවන, සනාතන රැකවරණයක් සලසන ධර්මයක් කියලා. යම් කෙනෙක් තුළ හොඳින් අසා දරාගත් ධර්මයක් නැත්නම් එය අනාථ වූ කෙනෙක්. මේ යුගයේ අපට මුණ ගැසුණු ශාසනය තමා ගෞතම බුද්ධ ශාසනය. අපි බහුශ්රැත නොවුණොත් අපට අනාථව තමා වාසය කරන්න වන්නේ. අනාථ වූ කෙනකුට සිද්ධ වන ඊළඟ කාරණය තමා දුකින් වාසය කරන්නට සිදුවීම. දැන් අපට තේරෙනවා බහුශ්රැත බව පොඩි දෙයක් නොවන බව. නමුත් මේ ගැන අල්ප දහම් දැනුමක් ඇති කෙනෙක් එක්ක කථා කිරීම දුෂ්කර බවයි. භාග්යවතුන් වහන්සේ වදාළේ.
04. මච්ඡරිස්ස චාගකථා දුක්කථා
මසුරු අයත් එක්ක ත්යාගය ගැන (දීම/ගැන) කථා කිරීම දුෂ්කරයි. ඒක දුෂ්කර කථාවක්. නිවනක් සොයන කෙනකුට මේකත් හරිම වැදගත්, මොකක්ද? අත් හැරීම පුරුදු කිරීම, ටික ටික හරි අපි පුරුදු වන්න ඕන අත්හරින්න. නියම අත් හැරීම නම් කෙළෙස් අත් හැරීම කියලයි භාග්යවතුන් වහන්සේ වදාළේ.
අපි ධනය අත්හරිනවා වගේ අපට පුළුවන්නම් මේ ඇස අත හරින්න, කණ අත හරින්න, නාසය, දිව, කය, මනස අත් හරින්න, අන්න හැබෑම අත් හැරීම.ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඇස අත හරින්න නම් ඇස ගැන කලකිරෙන්න ඕන. ඇස ගැන කලකිරෙන්නේ නම් ඇසේ හැබෑම වැඩ පිළිවෙළ අවබෝධ වෙන්න ඕන ඇසයි, රූපයි, විඤ්ඤාණයයි. (ඇසින් රූප දැනැගනීමේ ස්වභාවය) එකතු වෙලා සංසාරයේ පැවැත්ම වෙනුවෙන් (පටිච්ච සමුප්පන්නව) දුක හදල දුන්නා. ඇසේ ඇතිවීම දුකයි. ඒ නිසාමයි භාග්යවතුන් වහන්සේ වදාළේ, “පින්වත මහණනි, යම් තැනක ඇස ඉපදුනා නම් ඉපදුනේ දුකයි” කියලා.
අපි කවුරුත් දුකට කැමැති අය නොවේ. අපි සැපට කැමැති අය. එහෙනම් අපි අකැමැති දුක හදලා දෙන ඇසටත් අපි කැමැති නොවෙන්න ඕන. අන්න එදාට තමා අපි ඇස කෙරෙහි නිබ්බිදාව (කළකිරීම) ඇතිකර ගන්නේ. කළකිරුණු දවසට අපිට, ඇස අවබෝධයෙන්ම එපා වෙනවා. අන්න එදාටයි අපි හැබෑවටම ඇසෙන් නිදහස් වෙන්න මහන්සි ගන්නේ. ඇස අත හරින්න මහන්සි ගන්නේ. ඉතින් මේ කෙළෙස් අතහැරීමට කලින් අපි ධන ධාන්යා අතහැරලා (දන්දීලා) මේකට පුරුදු වෙන්න ඕන. ඒ වගේම අපට ආර්ය සත්යය අවබෝධ කර ගැනීමට අනිවාර්යයෙන්ම පින උපකාර වෙනවා. ත්යාගයෙන්, දන් දීමෙන් අපට ඒ නිවනට උපකාර කරන පින අප්රමාණ ආකාරයෙන් රැස්කර ගැනීමේ අවස්ථාව උදාවෙනවා. භාග්යවතුන් වහන්සේගේ දන් දීම හරිම ලස්සනයි. මහාකච්චානභද්දෙකරත්ත සූත්රයේ දී වදාළා.
අමතස්සදාතා
බුදුරජාණන් වහන්සේ තමා අමෘතය (ඒ අමා මහ නිවන) දන් දෙන කෙනා කියල අත්හැරීම පුරුදු කරපු භාග්යවතුන් වහන්සේගේ හැටි කොහොමද බලන්න.
නත්ථානන්ද තථාගතස්ස ආචරිමුට්ටී
පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ ශ්රාවකයන්ට නොකියන, රහසේ තබා ගන්නා ධර්මයක් නැහැ කියලා.
මෙවන් අත්හැරීම ගැන මසුරුකෙනෙක් එක්ක කොහොම කථා කරන්නද? ඒක එයත් එක්ක දුෂ්කර කථාවක්.
05. දුප්පඤ්ඤස්ස පඤ්ඤාකථා දුක්කථා
ප්රඥාව නැති කෙනෙක් එක්ක ප්රඥාව ගැන කථා කරන එක දුෂ්කරයි. අනිත්ය, දුක්ඛ, අනාත්ම කියන ත්රිලක්ෂණය දකින, මනා කොට දුක් ක්ෂය කරන ලද ආර්ය වූ කලකිරීමෙන් යුත් නුවණයි ප්රඥාව කියන්නේ. ඒ ආර්ය ප්රඥාවට පුළුවනි, මනා කොට දුක් ක්ෂය කරලා දාන්න, දුක ප්රහීණ කරන්න. ඒ ප්රඥාවට පුළුවන් නම්, ප්රඥාව කොතරම් වැදගත්ද කියන්න අටුවාටීකා අවශ්ය නැහැ. අපව සතර අපායෙන් පමණක් නොවෙයි මේ තුන් භවයෙන්ම සදහටම නිදහස් කරන ඒ ප්රඥාව ගැන ප්රඥාව නැති කෙනෙක් එක්ක කථා කරන්න බෑ කියලයි භාග්යවතුන් වහන්සේ දුක්කථා සූත්රයේ දි වදාළේ. අපි මෙවැනි පුද්ගලයන් වන්න හොඳ නැහැ. ශ්රද්ධාව, ශීලය, බහුශ්රැත භාවය, ත්යාගය, ප්රඥාව ගැන කථා කරන්න පුළුවන් ඒ ගැන කථා කරනවාට කැමැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්රාවක දරුවන් පිරිසක් බවට, සැබෑම ශ්රාවක දියණියන් පිරිසක් බවට අපි පත් වන්න ඕන.
~ නුගවෙල දීපාලෝක හිමි විසින් ෆේස්බුක් තුල පල කල තිබු ලිපියක් අසුරෙනි
අධ්යනය සදහා සුත්ර යොමු :
======================
සුත්තපිටක » අඞ්ගුත්තරනිකාය » පඤ්චකනිපාතො » සද්ධම්මවග්ගො » දුක්ඛතා සුත්තං : https://pitaka.lk/bjt?b=24&p=295
සුත්තපිටක » සංයුත්තනිකාය » සගාථවග්ග » යක්ඛසංයුත්තං » ඉන්දකවග්ගො » ආළවක සුත්තං : https://pitaka.lk/bjt?b=16&p=381
සුත්තපිටක » දීඝනිකාය » මහාවග්ගො » මහාපරිනිබ්බාන සූත්රය : https://pitaka.lk/bjt?b=11&p=111
සුත්තපිටක » අඞ්ගුත්තරනිකාය » දසකනිපාතො » නාථවග්ගො » පඨම නාථකරණ ධම්ම සූත්රය :https://pitaka.lk/bjt?b=27&p=45
සුත්තපිටක » මජ්ඣිමනිකාය » උපරිපණ්ණාසකො » විභඞ්ගවග්ගො » මහාකච්චානභද්දෙකරත්ත සුත්තං : https://pitaka.lk/bjt?b=15&p=411