දශ අකුශලය
(1) ප්‍රාණාතිපාතය
(2) අදත්තාදානය
(3) කාමමිථ්‍යාචාරය
(4) මෘෂාවාදය
(5) පිශුන වචනය
(6) පරුෂ වචනය
(7) සම්ඵප්‍රලාපය
(8) අභිධ්‍යාව
(9) ව්‍යාපාදය
(10) මිථ්‍යාදෘෂ්ටිය
යන මොහු දශ අකුශල කර්ම පථයෝ ය.
1. ප්‍රාණාතිපාත අකුශලය
සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.
“පාණෝ හවෙ පාණසඤ්ඤි – වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච – අංගා පඤ්ච වධස්සිමේ”
(1) පණ ඇති සතකු වීම ය.
(2) පණ ඇති සතකු බව දැනීම ය
(3) මරණු කැමති සිත ය
(4) මරන්නට උපක්‍රම කිරීම ය
(5) ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීමය
යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.
යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.
2. අදත්තාදාන කර්මය
අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ.
(1) අන් සතු වස්තුවක් වීමය,
(2) අන් සතු වස්තුවක් බව දැනීම ය
(3) පැහැර ගනු කැමති සිතය.
(4) පැහැර ගැනීමට උපක්‍රම කිරීම ය.
(5) වස්තුව ගැනීම
යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ.
යම්කිසි වස්තුවක් සොර සිතින් ගත්තේ ද, එය හිමියකු නැති වස්තුවක් වේ නම් එයින් අදත්තාදාන කර්මය සිදු නො වේ. හිමියකු ඇති හිමියා විසින් නුදුන් වස්තුවක් වුව ද සොර සිතින් තොර ව හිමියා කෙරෙහි විශ්වාසයෙන් ගතුයේ ද අදත්තාදාන කර්මය නො වේ. අන්සතු වස්තුවක් තමාට අයත් ය යන හැඟීමෙන් ගතුයේ ද අදත්තාදාන පාපය නො වේ.
3. කාම මිථ්‍යාචාරය
කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.
(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය.
(2) සේවන චිත්තය ඇති වීම ය.
(3) සේවනයට උත්සාහ කිරීම ය.
(4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය
යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.
4. මෘෂාවාදය
අනුන් මුළා කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මෘෂාවාදය නම් වේ.
මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි.
(1) කියන කරුණ බොරුවක් වීම ය.
(2) අනුන් රවටන අදහස ය
(3) ඇඟවීමේ උත්සාහය ය
(4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය
යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.
අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ. දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍රවෘත්ති පත්‍ර සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.
5. පිශුන වචනය
යම් වචනයක් කී කල්හි අසන්නා වූ තැනැත්තාට තමා ප්‍රියයකු වී අනෙකකු අප්‍රිය වේ ද ඒ වචනය පිශුන වචනය නම් වේ. තවත් ක්‍රමයකින් කියතහොත් සමගියෙන් සිටින දෙදෙනකු භේද කරවීම පිණිස කියන්නා වූ වචන පිශුන වචන නම් වේ. කේලාම් කීමය යි කියනුයේ ද පිශුන වචන කීමට ය. කේලාම් කීම වූ පාපකර්මයට පිශුන වචනය යි ද පිසුනාවාචා ය යි කියනු ලැබේ. එයට අංග සතරක් ඇත්තේ ය.
(1) භේද කළ යුතු අනෙකකු ඇති වීම ය.
(2) කෙනකු හා කෙනකු බිඳවන අදහස ඇති බව ය.
(3) බිඳවනු පිණිස යම්කිසිවක් කීමය.
(4) ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීමය
යන කරුණු සතර සම්පූර්ණ වීමෙන් පිශු වචනය කර්මය සිදු වේ.
අනුන් බිඳවනු සඳහා කියන වචන සත්‍යය ද විය හැකිය. අසත්‍යය ද විය හැකිය. යම්කිසි සත්‍ය කාරණ්‍යක් අනුන් බිඳවීමේ අදහසක් නැති ව, කෙනකුට විය හැකි අන්තරායකින් මුදවා ගැනීම ආදි කරුණක් සඳහා කී කල්හි, එයින් කෙනකු හා කෙනකුගේ බිඳීමක් වුව ද, කී තැනැත්තා හට කේලාම් කීමේ පාපය නොවේ. සත්‍ය කරුණක් වුව ද, බිඳවන අදහසින් කියන්නහුට කේලාම් කීමේ පාපය වේ. කේලමක් කී කල්හි එයින් අනුන් අතර භේදයක් නො වී නම් එය සාමාන්‍ය කර්මයක් වේ. භේදය වී නම් කර්මපථයක් වේ.
කේලාම් කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය
කේලාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහීනයෝ වෙත් නම් කර්මය අල්ප සාවද්‍ය වේ. ගුණවතුන් බිඳවීම මහා සාවද්‍ය වේ. සත්‍ය කරුණක් කියා බිඳවීම අල්ප සාවද්‍ය වේ. අමුතුවෙන් බොරු ගොතා කියා බිඳවීම මහා සාවද්‍ය වේ. කේලාම් කීමට හේතු වූ ක්ලේශය්ගේ මන්ද භාවයෙන් අල්ප සාවද්‍ය වේ. ක්ලේශයන් තියුණු වූ කල්හි රෞද්‍ර වූ කල්හි මහා සාවද්‍ය වේ. කේලාම් කීමේ විපාකයෝ මුසාවාදයේ විපාකයන්ට සමාන වෙති.
6. පරුෂ වචනය
අසන්නා වූ අනුන්ගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචන නම් වේ. පරුෂ වචන කීම් වශයෙන් ඇති වන්නා වූ චේතනා සංඛ්‍යාත කර්මයට ද ඒ නම ම කියනු ලැබේ. අංගු තුනක් සම්පූර්ණ වීමෙන් පරුෂ වචන කර්මය වේ. (1) ආක්‍රෝෂ කළ යුතු කෙනකු වීම ය. (2) ක්‍රෝධ සහගත සිත් ඇති වීම ය. (3) අනුන්ගේ සිත් රිදවන වචන කීමය යන මොහු එහි අඞ්ගයෝ ය. ආක්‍රෝෂ කොට සිත රිදවීමට කෙනකු නැති ව, සිත රිදවීමට කියන වචන තනිව කීමෙන් පරුෂ වචන කර්මය සිදු නො වේ. දුෂ්ට සිතින් තොරව පරුෂ වචන කීයේ ද පරුෂ වචන කර්මය සිදු නො වේ. එක් දරුවෙක් මව වළක්වද්දී මවට අකීකරුව වනයට යන්නට පිටත් විය. දරුවාගේ ගමන වැළැක්විය නුහුණු කල්හි මව “වනයේ දී කුළු මීදෙනන තා පස්සේ එනවා” ය යි දරුවාට ආක්‍රෝෂ කළාය. එදා වනයේ දී ඒ ළමයාට අණින්නට කුළු මීදෙනක් ලුහු බැඳ ආවාය. එ කල්හි ළමයාට මවගේ කීම සිහිවී මාගේ මව යමක් කීවා නම් එය මට නොවේවා, යමක් සිතුවා නම් එය ම මට වේවා”යි සත්‍යක්‍රියා කෙළේය. එකෙණෙහි ම මී දෙන නැවතුනාය. ඒ මවගේ කීම පරුෂ වචනයක් වුව ද ඇගේ සිත මෘදු බැවින් දරුවාට එබන්දක් වෙනවාට ඇය නො කැමති බැවින් එයින් පරුෂවචන කර්මයක් නො වේ. එසේ ම දුෂ්ට සිත නැති ව කියන කවර වචනයකින් වුවද පරුෂ වචන කර්මය සිදු නො වන බව දත යුතු ය.
ආක්‍රෝශ කිරීමේ ආකාර දශය
ආක්‍රෝශ කිරීමේ ආකාර දශයක් විනට පිටකයේ පාචිත්තිය පාළියේ දක්වා තිබේ. ජාතියෙන් ආක්‍රෝශ කිරීම ය, නාමයෙන් ආක්‍රෝශ කිරීම ය, ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීමය, කර්මයෙන් ආක්‍රෝශ කිරීමය, ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම ය, ආබාධයෙන් ආක්‍රෝශ කිරීමය, ලිඞ්ගයෙන් ආක්‍රෝශ කිරීමය, ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීමය, ආපත්තියෙන් ආක්‍රෝශ කිරීමය, ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීමය යනු ඒ දශය ය. ඒ සියලු ම ආකාරයෙන් කරන ආක්‍රෝශවලින් පරුෂ වචන කීමේ පාපය වේ.
(1) පහත් යයි සම්මත ජාති ඇතියකුට අවමන් කරනු පිණිස රිදවනු පිණිස ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීම ද, උසස් යයි සම්මත ජාති ඇතියකුට රොඩියා පද්දා යන ආදීන් පහත් ජාතියක නාමයෙන් කථා කිරීම ද, පහත් ය යි සම්මත ජාතියක කෙනකුට අවමන් කරනු පිණිස නිලමේ රාළහාමි අප්පුහාමි යනාදීන් උසස් ජාති ඇතියන්ට කියන නාමයන් ගෙන් කථා කිරීම ද ජාතියෙන් ආක්‍රෝශ කිරීම ය.
(2) ලෝකයෙහි ඒ ඒ පෙදෙස්වල උසස් කොට සලකන්නා වූ ද පහත් කොට සලකන්නා වූ ද නොයෙක් නම් ඇත්තේ ය. පහත් යයි සම්මත නමක් ඇතියකුට නිග්‍රහ කරනු පිණිස ඒ නම ගෙන කථා කිරීම ද උසස් කොට සලකන නම් ඇතියකුට නිග්‍රහ පිණිස පහත් නමක් කීම ද, පහත් ය යි සම්මත නමක් ඇතියකුට නිග්‍රහ පිණිස උසස් නමක් ගෙන කථා කිරීම ද, “කරෝලියා ජුවානියා යනාදීන් නිග්‍රහ පිණිස නම නරක් කොට කථා කිරීම ද නාමයෙන් ආක්‍රෝශ කිරීම ය.
(3) ගෝත්‍ර යනු ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම්වලින් ඇත්තා වූ පරම්පරාවෝ ය. පහත් යයි සම්මත ගෝත්‍රයක කෙනකුට නිග්‍රහ පිණිස ඒ ගෝත්‍රයේ නම ගෙන කථා කිරීම ද උසස් යයි සම්මත ගෝත්‍රයක කෙනකුට නින්දා කරනු පිණිස පහත් ගෝත්‍ර නාමයක් ගෙන කථා කිරීම ද, පහත් ගෝත්‍රයක් ඇතියකුට අවමන් කරනු පිණිස උසස් ගෝත්‍රයක නමක් ගෙන කථා කිරීම ද ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීම ය.
(4) ඒ ඒ ජනපදවල උසස් කොට සලකන කර්මාන්ත ද ඇත්තේ ය. පහත් කොට සලකන කර්මාන්ත ද ඇත්තේ ය. කසළ ඉවත් කිරීම, වැසිකිළි ශුද්ධ කිරීම ආදි හීන කර්මයක් කරන්නකුට අවමන්න කරනු පිණිස එය ගෙන කථා කිරීම ද, වෙළඳාම් ගොවිකම් ආදි උසස් කර්මාන්තයක් කරන්නකුට අපහාස පිණිස වැද්දා කෙවුලා ගහලයා යනාදීන් කථා කිරීම ද, හීන කර්මයක් කරන්නකුට අවමන් කරනු පිණිස උසස් කර්මයක් ගෙන කථා කිරීම ද කර්මයෙන් ආක්‍රෝශ කිරීම ය.
(5) ඒ ඒ ජනපදවල උසස් කොට සලකන්නා වූ ද පහත් කොට සලකන්නා වූ ද ශිල්පයෝ වෙති. වළන් තැනීම, වට්ටි පෙට්ටි විවීම ආදී පහත් ය යි සම්මත ශිල්පයකින් ජීවත්වන්නකුට නින්දා කරනු පිණිස කුඹලා, කුළුපොත්තා, සම්කරුවා යනාදීන් කථා කිරීම ද, උසස් කෙනකුට අවමන් කරනු පිණිස කුඹලා, කුළුපොත්තා යනාදීන් කථා කිරීම ද, පහත් ශිල්පයකින් ජීවත්වන්නකුට අවමන් කරනු පිණිස ලියනමහත්මයා, වෙද මහත්මයා යනාදීන් කථා කිරීම ද ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම ය.
(6)යම්කිසි ආබාධයක් ඇතියකුට නින්දා කරනු පිණිස කබරයා, පරංගියා, ලාදුරුවා, හොරිකඩයා යනාදීන් කථා කිරීම ද, එබඳු ආබාධයක් නැතියකුට නින්දා පිණිස එසේ කතා කිරීම ද ආබාධයෙන් ආක්‍රෝශ කිරීම ය.
(7)කල්ලා, රත්තා, සුද්දා, දිගා, මිට්ටා, තඩියා යනාදීන් ශරීරාකාරය ගෙන අනුන්ට අපහාස කිරීම ලිඞ්ගයෙන් ආක්‍රෝශ කිරීම ය.
(8) පෙරේතයා, මසුරා, සල්ලාලයා, කොටියා, යකා, ගොනා යනාදීන් අපහාස කිරීම ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීම ය.
(9)කළා වූ හෝ නො කළා වූ හෝ වරදක් ගෙන අපහාස කිරීම ආපත්තියෙන් ආක්‍රෝශ කිරීම ය.
(10) ලෝකයෙහි අනුන්ට රිදවනු පිණිස අපහාස කරනු පිණිස කියන්නා වූ නොයෙක් වචන ඇත්තේ ය. ගොනා, ඌරා, බල්ලා, බේබද්දා, සල්ලාලයා යනාදී සිත රිදවන්නා වූ යම්කිසි වචනයකින් නිග්‍රහ කිරීඹ ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම ය.
පරුෂ වචන කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව
ගුණවතුන්ට පරුෂ වචනයෙන් ආක්‍රෝශ කිරීම මහාසාවද්‍ය වේ. ගුණ හීනයන්ට ආක්‍රෝශ කිරීම අල්පසාවද්‍ය වේ. ගුණයෙන් සම වූවන්ට ආක්‍රෝශ කිරීමෙහි දී ද්වේෂය මහත් කල්හි මහාසාවද්‍ය ද, ද්වේෂය මඳ කල්හි අල්ප සාවද්‍ය ද වේ. විපාක, මෘෂාවාදයේ විපාකයන්ට සම වේ.
7. සම්ඵප්‍රලාපය
යම් කථාවක් එය කියවන්නා වූ ද, අසන්නා වූ ද, තැනැත්තන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේ ද? හුදෙක් කෙලෙස් වැඩීමටත්, යම්කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකම් ම ගෙවී යාමටත් පමණක් හේතු වේ ද, ඒ කථාව සම්ඵප්‍රලාප නම් වේ. සම්ඵප්‍රලාප කීම් වශයෙන් ඇති වන්නා වූ අකුශල චේතනා සංඛ්‍යාත කර්මයට ද මේ කර්ම කතාවෙහි සම්ඵප්‍රලාප යන වචන ම කියනු ලැබේ.
(1) අසන කියන දෙපක්ෂයට ම වැඩක් නැති කථාවක් කියන අදහස ය. (2) එ බඳු කථාවක් කීමය අය අඞ්ග දෙකින් සම්ඵප්‍රලාප අකුශලය සිදු වේ. සම්ඵප්‍රලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නෙකි. අන්‍යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප්‍රලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන් තැන්වලට එක් වී කරන්නා වූ නිෂ්ඵල කතාවෝ ද, අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන, බොරු සැබෑ දෙවර්ගය ම මිශ්‍ර කර ගොතා තිබෙන “රාම-රාවණා” කථාව වැනි කථාවෝ ද, අල්පමාත්‍ර සත්‍යකුදු නැති සාවාගේ හා නරියාගේ කථාව වැනි කථාවෝ ද සම්ඵප්‍රලාපයේ ය. යම් කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතා තිබෙන කථා අසත්‍ය වුව ද, ප්‍රයෝජනයක් ඇති බැවින් සම්ඵප්‍රලාප සංඛ්‍යාවට නො ගැනේ. කියන ලද සම්ඵප්‍රලාපය අන්‍යයන් පිළිගත හොත් කර්මපථයක් වේ. කිසිවකු නො පිළිගත හොත් කර්මපථ නො වේ. සාමාන්‍යයෙන් සම්ඵප්‍රලාප කීම අල්පසාවද්‍ය වේ. නැවත නැවත වර්ණනා කර රසවත් කර කීම මහා සාවද්‍ය වේ. අසන්නවුන්ට වන්නා වූ අර්ථ හානියේ කුඩා මහත් බවේ සැටියට ද එහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතු ය.
8. අභිද්‍යාව
අනුන්ගේ සම්පත් දැක ඒවා තමාට වේවා යි සිතීම හෙවත් අන්සතු දෑ අයිතිකර ගැනුමට සිතීම අභිද්‍යා නම් වේ. තමාගේ භාණ්ඩ පිළිබඳ ලෝභය ද පාපයකි. පරභාණ්ඩයක් ගැන කරන්නා වූ ලෝභය, පමණ ඉක්මවා පවත්වන අධර්ම ලෝභයක් වන බැවින් එය අභිද්‍යා නම් වූ අකුශල කර්ම පථය වේ. මෙය බොහෝ සෙයින් අදත්තාදාන කාමමිථ්‍යාචාර කර්මයන්ගේ පූර්වභාගයෙහි ඇති වන්නකි. අභිද්‍යාව නිසා සොරකම් කරති. පරදාර සේවනය කරති. දූ කෙළිය ද අභිද්‍යාව නිසා කරන්නකි. (1) අන් සතු වස්තුවක් වීමය (2) එය අයත් කරගන්නට සිතීමය යන අඞ්ග දෙකින් අභිද්‍යා නම් වූ අකුශල මනඃකර්මය සිදු වේ. ලෝභනීය වස්තුවක් දැක මෙය කොපමණ හොඳ ද යනාදීන් සිතූ පමණින් අභිද්‍යා කර්මය නොවේ. මා විසින් ද මෙවැන්නක් ලබා ගන්නට ඕනෑය යි සිතීමෙන් ද අභිද්‍යා කර්මය නො වේ. මෙය මට වුවහොත් හොඳය කියා හෝ මට අයිති වේවා ය කියා හෝ සිතූ කල්හි කර්මය වේ. එහි අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව හා විපාක ද අදත්තාදාන කර්මයෙහි මෙන් දත යුතු ය. දම්පියා අටුවාවේ චිත්ත වර්ග වර්ණනාවේ දැකවෙන සෝරෙය්‍ය ස්ථවිරයන් වහන්සේගේ කථාව මෙහිලා සැලකිය යුතුය.
9. ව්‍යාපාදය
අන්‍යයෝ නැසෙත්වා යි සිතීම ව්‍යාපාද නම් වේ. මෙය බොහෝ සෙයින් ඊර්ෂ්‍යාව මුල්කොට ඇතිවන පාපයකි. අනුන් මළ කල්හි ඔවුන්ගේ වස්තුව තමාට හිමිවීම ගැන බලාපොරොත්තුවෙන් අනුන් ගැන එසේ සිතන්නෝ ද වෙති. ඔවුන්ගේ ඒ ව්‍යාපාදය ලෝභය නිසා ඇතිවන්නකි. සමහරවිට තමාට කරදර කරන්නෝ නැසෙත්වායි ද සිතති. එය ද්වේෂය නිසා සිදුවන්නකි. (1) අන්‍ය සත්ත්වයකු වීමය (2) ඔහුගේ විනාශය සිතීමය යන අඞ්ග දෙකින් ව්‍යාපාද කර්මය සිදු වේ. අනුන් කෙරෙහි කෝපය ඇති වූ පමණින් ම ව්‍යාපාද කර්මය සිදු නොවේ. නැසෙත්වා යි සිතූ කල්හි කර්මය සිදු වේ. එහි අල්ප සාවද්‍ය මහාසාවද්‍ය භාවය හා විපාක පරුෂ වචන කර්මයෙහි මෙන් දත යුතු ය.
10. මිථ්‍යාදෘෂ්ටිය
මරණින් මතු නැවත ඉපදීමක් නැත. පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයෝ ය කියා තැන් නැත, නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම් (1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය. (2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය යන දෙකය. මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍රහ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති.
නාස්තික දෘෂ්ටිය.
“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති කාපොතකානි අට්ඨිනි භවිස්සන්ති, භස්මන්තා ආහුතියො. දත්තුපපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාද, වදන්ති බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති න හොන්ති පරම්මරණා.”
යනුවෙන් දැක්වෙන දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත, පුද පඬුරු යැවීමෙන් පලක් නැත, පින් පව්වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමෙක් නැත, මවට කරන හොඳ නරකවලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵලවිපාකයක් නැත. මළ පසු නැවත උපදනා සත්ත්වයෙක් නැත. ලෝකයෙහි යම්කිසි යහපත් ප්‍රතිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින් ම ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙක ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන ප්‍රකාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මිත ය. සත්ත්වයා මළ කල්හි ශරීරයේ පෘථිවි ධාතුව බාහිර පෘථිවි ධාතුවට එක් වන්නේ ය. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වන්නේ ය. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වන්නේ ය. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වන්නේ ය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. පුරුෂයෝ සතර දෙනෙක් සොහොන දක්වා මළ සිරුර ගෙන යන්නාහ. අසවලා දායකයෙක, සිල්වතෙක, අසවලා මසුරෙක, දුශ්ශීලයෙක යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැ වන්නාහ. දාන පූජාවෝ හළුවීම කෙළවර කොට ඇත්තෝ ය. දානය මෝඩයන් විසින් පනවන ලද්දකි. යමෙක් දානයෙන් ඵල ඇති බව කියත් ද ඔවුන්ගේ ඒ කීම හිස් ය. බොරු ය. නන් දෙඩවීමක් ය. බාල වූ ද පණ්ඩිත වූ ද සියල්ලෝ ම මරණින් සිඳෙන්නාහ. මතු නූපදින්නාහයි ප්‍රකාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිථ්‍යාදෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය ය.
අහේතුක දෘෂ්ටිය
“නත්ථි මහාරාජ! හේතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්ති විසුජ්ඣන්ති”
යනාදීන් දක්වන ලද “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ම සත්ත්වයෝ කෙලෙසන්නාහ. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතිව ම සත්ත්වයෝ ශුද්ධ වන්නාහ. සත්ත්වයන්ට ඒ ඒ කුඩා මහත් ජාතිවල ඉපද සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍රමයක් ඇත්තේ ය. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සෑම දෙන ම ඒ නියමය පරිදි පිළිවෙලින් ඒ ඒ ජාතිවල ඉපිද සැප දුක් ලබන්නා හ. දානපූජාදි පින්කමෙක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවෙළ ඉක්මවා දිව්‍යලෝකාදියෙහි ඉපද විශේෂ සැපයක් නො ලැබිය හැකි ය. නියම කාලය පැමිණෙන තුරු දුක් කෙළවර කර පරම සැපයට ද කිසිවකුට නො පැමිණිය හැකි ය. පින් කරන්නා වූ ද, නො කරන්නා වූ ද, පණ්ඩිත වූ ද, අපණ්ඩිත වූ ද සියල්ලෝ ම සුවාසූදහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙළවර කරන්නාහ යන මක්ඛලී ගෝසාල තීර්ථකයා විසින් ප්‍රකාශ කරන්නා වූ දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය ය.
අක්‍රිය දෘෂ්ටිය
“කරොතො ඛො මහාරාජ! කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණාති පාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං”
යනාදීන් දක්වන ලද “තමා විසින් ම පව්කරන්නා හට ද, අනුන් ලවා පව් කරවන්නා හට ද, අනුන්ගේ අත් පා ආදිය සිඳින්නා වූ තැනැත්තාට ද, සිඳවන්නා වූ තැනැත්තා හට ද, ද දඬු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හට ද, පෙළවන්නා වූ තැනැත්තා හට ද, වස්තුව පැහැරගැනීම් ආදියෙන් අනුන් ශෝක කරවන්නා හට ද, අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නා වූ තැනැත්තාට ද, ආහාර නො දීම් සිර කිරීම් ආදියෙන් අනුන් වෙහෙස වන්නා වූ තැනැත්තා හට ද, අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තා හට ද, අනුන්ට පීඩා කිරීම් වශයෙන් තමා ද සැලෙමින් අනුන් ද සොලවන්නා වූ තැනැත්තාට ද, ප්‍රාණඝාතය කරන්නා හට ද, සොරකම් කරන්නා හට ද, ගෙවල් බිඳින්නා හට ද, ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හට ද, එක් ගෙයක් වට කොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, මඟ රැකසිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තා හට ද, බොරු කියන්නා හට ද, ඕනෑකමින් ම පව් කරන්නා හට ද, සිදුවන්නා වූ පාපයක් නැත. පොළොවෙහි ඇති තාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තා හට ද එයින් වන පාපයක් නැත. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක් ද නැතැ’යි පූර්ණ කාශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දෘෂ්ටිය අක්‍රිය දෘෂ්ටිය ය.
මිථ්‍යාදෘෂ්ටි කර්මයාගේ විපාකාදිය
“නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවෙ වජ්ජානීති.”
යනුවෙන් මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු ද එසේ මහාසාවද්‍ය වූ අන් එක ම ධර්මයකුදු මාගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතුරෙන් සියල්ලට ම මහත් වරද වේය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.
මෙය කර්ම, කර්ම ඵල දෙක ප්‍රතික්ෂේප කරන්නා වූ නාස්තිකය අහේතුකය අක්‍රියය යන දෘෂ්ටි තුන ගැන කරන ලද දේශනයෙකි. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවර දෘෂ්ටියක් වුවත් ගත් තැනැත්තා හට එය නො හැර මරණින් මතු සුගතියට නො පැමිණිය හැකි ය. නිවනට ද නො පැමිණිය හැකි ය. ඒ දෘෂ්ටීහු සත්ත්වයන්ට ස්වර්ග මෝක්ෂයන් ආවරණය කරන්නෝ ය. ඒ දෘෂ්ටි තුන අතුරෙන් කවරක් හෝ ගෙන සිටින තැනැත්තා මරණය දක්වා එය නො හැර සිටියේ නම් ඒකාන්තයෙන් අපායට පැමිණෙන්නේ ය. එබැවින් ඒවාට නියත මිථ්‍යාදෘෂ්ටිය යි කියනු ලැබේ. මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා එය නිසා තවත් බොහෝ පව් රැස් කරන්නේ ය. ඒවා ද එකතු වී මිථ්‍යාදෘෂ්ටි කර්මය විපාක දෙන්නට වන් කල්හි ආනන්තර්‍ය්‍ය කර්මයන්ට ද වඩා බලවත් ව විපාක ගෙන දෙන්නේ ය. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන් කල්පාවසානයේ දී නරකයෙන් මිදෙන බවත්, නියත මිථ්‍යා දෘෂ්ටිය ගතුවන් තමන් සිටින ලෝකධාතුව විනාශ වන කල්හි අන් ලෝක ධාතුවක නරකයට පැමිණ එහි විපාක විඳින බවත් එහි විපාකාවසානයාගේ නියමයක් නැති බවත් දක්වා තිබේ.
බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතු වන්නේ මිසදිටුවන් සේවනය කිරීම ය. ඇතැම් මිසදිටුවෝ තමා ගෙන සිටින දෘෂ්ටිය අන්‍යයන්ට ද රසවත් කොට පෙන්වා මඳ නුවණ ඇතියන් ලවා මිසදිටු ව ගන්වති. සම්‍යක් දෘෂ්ටිකයකු මිථ්‍යාදෘෂ්ටියකු කිරීම මහා අපරාධයෙකි. ධර්ම විෂයෙහි ප්‍රත්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘථග්ජන පුද්ගලයා රැවටෙන සුළු ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන්නා වූ තැනැත්තන් මිසදිටුවන් සේවනය කරන්නටත්, ඔවුන්ගේ දෙසුම් ඇසීමටත්, ඔවුන්ගේ පත පොත කියවන්නටත් පටන් ගත හොත් මුලාවී මිසදිටු වීමට ඉඩ තිබේ. මිසදිටු වීම තරම් නපුරක් තවත් නැත. එබැවින් මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් තුරන්ව වාසය කිරීම යහපති.
“තස්මා අකත කල්‍යාණං – ආසිවිස මිචොරගං
ආරකා පරිවජ්ජෙය්‍ය – භූති කාමො විචක්ඛණො.”
යනුවෙන් කරන ලද පින් නැත්තා වූ මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයා ඝෝර විෂ ඇති සර්පයකු මෙන් සලකා දෙලොව වැඩ කැමති නුවණැතියන් විසින් ඔහුගෙන් දුරින් ම දුරු විය යුතු බව දක්වා තිබේ. අපේ ඇතැම් බෞද්ධ මාපියෝ ස්වකීය දරුවන් මිසදිටුවන් යටතට පත්කොට ඔවුන්ට මිසදිටු වන්නට මඟ පාදති. එය දරුවන්ට කරන්නා වූ මහත් වූ ම අපරාධයෙකි. මිථ්‍යාදෘෂ්ටි කර්මය මහා පාපයක් වන නමුත් එය බොහෝ ද්‍රව්‍ය රැස් කරගෙන උපකාරයට මිනිසුන් රැස් කරගෙන වියදමක් දරා මහා පරිශ්‍රමයකින් සිදු කළ යුත්තක් නො ව සිතෙන් ම සිදුවන්නක් බැවින් ධර්මයෙන් ඈත්ව සත් පුරුෂ සේවනයෙන් තොර ව වාසය කරන්නා හට පහසුවෙන් ම සිදු විය හැකි ය. එය සිදුවීමට වුවමනා “පින් පව් කියා දෙයක් නැතය කියා හෝ පින් පව්වල විපාකයක් නැත ය කියා හෝ මරණින් මතු ඉපදීමක් නැතය කියා හෝ පිළිගැනීම” පමණෙකි. දෙලෝ වැඩ සිදු කර ගනු කැමැත්තෝ එයින් වළකිත්වා!
උපුටා ගැනීම,
මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද,
අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)
මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත
බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයෙනි.